Published on: මැයි 3, 2024

ශෝක පණිවිඩය

සෛද්ධාන්තික මහාචාර්ය භෞතික විද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමන් අභාවප්‍රාප්ත වීම පිළිබඳ පුවත සැළවීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමන් මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙකි. පසුව සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹුණු චරිතයකි. එතුමන් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය.

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා විසින් රචිත කෘති, දේශන සහ එතුමන්ගේ මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත. එමෙන්ම නූතන බෞද්ධ ජාතික දැක්ම නිර්මාණය සඳහා එතුමාගේ දර්ශනය තීරකව බලපෑවේය.

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාල ගුරු සංගමයේ සභාපති වශයෙන් ද මහත් කැපවීමෙන් සිය කාර්යයන් ඉටුකල විද්වතෙකි.

මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාගේ අභාවයෙන් ශෝකයට පත් එතුමාගේ බිරිඳ, පුතුන් දෙදෙනා හා දියණිය වෙතත් ඥාතීන් ඇතුළු එතුමන්ගේ ශිෂ්‍ය පරම්පරාව වෙතත් මාගේ සාතිශය සංවේගය පළ කරමි.

අභාවප්‍රාප්ත මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාට උතුම් වූ නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.