Published on: ජූලි 29, 2025

ශ්‍රී ලංකා ජනපතිගේ මාලදිවයින් සංචාරය දෙරට එක්ව සමෘද්ධිය කරා යන ගමනේ තීරණාත්මක සාධකයක්

– මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු

ශ්‍රී ලංකා – මාලදිවයින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 60 වසරක් සපිරෙන අවස්ථාවේ සිදු වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මාලදිවයින් රාජ්‍ය සංචාරය, දෙරටම ආර්ථික වශයෙන් ඒකාබද්ධ සහ සමෘද්ධිමත් ඉදිරි ගමනක් කරා යන ගමනේ තීරණාත්මක සාධකයක් වනු ඇති බව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා පැවසීය.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඊයේ (28) රාත්‍රියේ කුරුම්බා මෝල්ඩිව්ස් (Kurumba Maldives) නිවාඩු නිකේතනයේදී පැවති නිල රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව අදහස් දක්වමිනි.

මාලදිවයින්-ශ්‍රී ලංකා සබඳතාවල පවතින ආර්ථිකමය වැදගත්කම මෙහිදී පෙන්වා දුන් මාලදිවයින් ජනාධිපතිවරයා කලාපයේ සමෘද්ධිය සහ ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව සමඟ වඩාත් සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.

දෙරට අතර ඓතිහාසික සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව පැවසූ ඒ මහතා වර්තමානයේදී සාම්ප්‍රදායික භාණ්ඩ හුවමාරුවෙන් ඔබ්බට ගොස් සංචාරක ව්‍යාපාරය, ඩිජිටල් තාක්ෂණය, ආරක්ෂක සහයෝගීතාව සහ සංස්කෘතික හුවමාරුව වැනි නවීන අංශ ආවරණය වන ලෙසින් එම වර්ධනය සිදු ව ඇති බවද පැවසීය. මෙම විවිධාංගීකරණය තුළින්, දෙරටෙහි ද්විපාර්ශ්වික සබඳතාවල ඉදිරිගාමී බව පමණක් නොව, වේගයෙන් වෙනස් වන ලෝකයේ ඉල්ලීම් සපුරාලීම සඳහා දෙරටෙහි පොදු අපේක්ෂාව පිළිබිඹු කරන බවද ජනාධිපති මුයිසු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන, සෞඛ්‍ය සහ මානව සම්පත් සංවර්ධනය වැනි ප්‍රමුඛ ක්ෂේත්‍රවල දෙරටෙහි දිගුකාලීන සහයෝගීතාව මෙහිදී සිහිපත් කළ මාලදිවයින් ජනාධිපතිවරයා, එම සහයෝගිතාව වත්මන් ආර්ථිකමය ප්‍රසාරණය සඳහා ශක්තිමත් පදනමක් සකස් කරන බව පෙන්වා දුන්නේය. එසේම, දෙරට අතර මෑතකාලීන ඉහළ මට්ටමේ සාකච්ඡා තුළින් මෙතෙක් භාවිතයට නොගත් නව ආර්ථිකමය විභවයන් සොයා බලමින් දෙරටෙහි ජනතාවගේ ආර්ථික අවස්ථා පුළුල් කරනු ඇති බවට ජනාධිපති මුයිසු මහතා විශ්වාසය පළ කළේය.
පරම්පරා ගණනාවක් තිස්සේ, මාලදිවයින් වැසියන් ශ්‍රී ලංකාව හවුල්කරුවෙකු පමණක් නොව දෙවන නිවහනක් ලෙසද සැලකූ බව ප්‍රකාශ කළ ඒ මහතා, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවලට පාදක වූයේ සවිමත් පෞද්ගලික සහ ආයතනික සම්බන්ධතා බවද ප්‍රකාශ කළේය. මෙම ඥාතිත්වයේ හැඟීම, දෙරටෙහි ආර්ථිකමය ප්‍රගමණය සඳහා සුවිශේෂි වාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරන බවද මාලදිවයින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.