Published on: මැයි 4, 2025

වියට්නාමයේ නෝයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ජනපති මහත් හරසරින් පිළිගැනේ

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ඊයේ (03) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ වියට්නාමයේ නෝයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට (Noi Bai International Airport) ළඟා විය.

එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටු සාමාජිකයෙකු සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය න්ගුයෙන් මන් කුඕං (Nguyen Manh Cuong) මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිණි. මෙම පිළිගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති වන ට්‍රින් තී ටැම් (Trinh Thi Tam), වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා යන මහත්ම මහත්මින් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයෝ පිරිසක්ද සහභාගි වූහ.

අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, හනෝයි හි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් ( Tô Lâm) මහතා හමුවීමට නියමිතය.

හෙට (05) දිනයේදී ජනාධිපතිවරයා, වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමටද නියමිතය.

තවද, හෝ චි මිං නගරයේදී මැයි 06 වෙනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත.

එසේම, මෙම සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද, ව්‍යාපාරික ප්‍රජාව හමු වී සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම රාජ්‍ය සංචාරයට එක්ව සිටිති.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.