Published on: සැප්තැම්බර් 27, 2024

වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ පූර්ණ සහාය පළ වේ

වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙලට පූර්ණ සහාය දැක්වීමට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (KOICA) එකඟතාවය පළ කර ඇත.

කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ (KOICA) ඉහළ පෙලේ නිලධාරීන් කණ්ඩායමක් අද (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේ මෙම එකඟත්වය පළ කර තිබේ.

ශ්‍රී ලංකා රජය ගෙනයන වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව අනුව ණය ආධාර ලබාදීම පිළිබඳ අවධානය යොමු කරන බව ද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ නියෝජිතයින් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee), නියෝජ්‍ය තානාපති සොන්ග්යි ජියොන්ග් (Songyi Jeong), KOICA හි දේශීය අධ්‍යක්ෂ යුන්ග්ජින් කිම් (Myungjin Kim), නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂවරන් වන යොන්ග්වන් කිම් (Yongwhan Kim) සහ යුන්සූ ජියොන් ( Yunsoo Jeon), DIMO හි සාමාන්‍යාධිකාරී රොෂාන් සේරසිංහ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බී.එම්. යූ.එස් බන්නහැක යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.