Published on: මැයි 11, 2025

පණිවිඩය

ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව අපි සාදරයෙන් පිළිගනිමු.

ඉන්දියාව සහ පාකිස්තානය සටන් විරාමයකට පැමිණීමට ගනු ලැබූ තීන්දුව දෙපාර්ශ්වයේ අහිංසක ජීවිත ගලවා ගැනීම සඳහා ඇති තීරණාත්මක එකඟතාවයක් පමණක් නොව, තිරසාර සාමය සහ කලාපීය ස්ථාවරත්වය අත්කර ගැනීමේ පළමු සහ ප්‍රමුඛ පියවරකි.

අති මහත් වූ ව්‍යසනයක් ඇති වීමට පෙර, ඉන්දියාවේ සහ පාකිස්තානයේ නායකයින් අර්බුදය විසඳා ගැනීම සඳහා වෙඩි උණ්ඩ වෙනුවට වචන යොදා ගැනීමට තීරණය කිරීම මගින් ඔවුන්ගේ ප්‍රඥාව සහ රාජ්‍යතාන්ත්‍රික කුසලතාවය පෙන්නුම් කෙරේ.
ඉන්දියාවේ සහ පාකිස්තානයේ සමීපතම අසල්වැසියෙකු සහ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ මෙම සටන් විරාම එකඟතාව දිගුකාලීන ප්‍රශ්න සාමකාමීව විසඳා ගැනීමට තුඩු දෙන ප්‍රමුඛ පියවරක් වනු ඇති බවයි.

දෙරටෙහි අඛණ්ඩ සංවාදයට අපගේ සහාය ලබා දෙන අතර, කලාපීය සාමය අපගේ යුගයේදීම අත්කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම දායකත්වයක් ලබා දීමට සූදානම් බව සහතික වශයෙන් ප්‍රකාශ කර සිටිමි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.