Published on: ජනවාරි 18, 2025

චීන රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කළ ජනපති අද රාත්‍රියේ දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (17) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය.

චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව සිදු විය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ සිචුවාන්හි චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ (Dongfang Electric Corporation) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

සිය සිව් දින චීන රාජ්‍ය සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බිම් මට්ටමේ තිරසාර සංවර්ධනය තුළින් ග්‍රාමීය පුනර්ජීවනය නිරූපණය කරන ආදර්ශ ගම්මානයක් වන ෂැන් කි ආදර්ශ ගම්මානය සහ ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ගියේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහනය , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවන්ට එක් වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.