Published on: සැප්තැම්බර් 23, 2024

අභිනව ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

අභිනව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

මෙහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති ධූරයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව ප්‍රමුඛ අනුනායක හිමි දෙපල ඇතුළු මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ජායනා කර නව ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.ඩී. ලාල් කාන්ත, බිමල් රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.