Published on: පෙබරවාරි 7, 2025

ජනපති හා ජපානයේ නිපොන් පදනමේ සභාපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වන බවත් එම වැඩපිළිවෙළට සමගාමීව අධ්‍යාපනය නඟාසිටුවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කර සිටියේය.

මෙරට ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය නඟා සිටුවීමට මෙන්ම ආබාධිත ප්‍රජාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වන බව මෙහිදී නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා පැවසීය.

විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා සහාය ලබා දීමට තම සංවිධානය අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

එසේම මෙරට ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය තුරන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක් විය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්‍ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) , සසකාවා සෞඛ්‍ය පදනමේ සභාපති ආචාර්ය ටකහිරෝ නන්රි (Takahiro Nanri), නිපොන් පදනමේ විධායක අධ්‍යක්ෂ ඉචිරෝ කබසාවා (Ichiro Kabasawa), යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.