UNSC 1373 යටතේ පුද්ගලයන් හා සංවිධාන අසාධු ලේඛනගත කිරීමේ හා ඉවත්කිරීමේ ක්‍රමවේදය.

පසුගිය දිනවල සමාජයේ ආන්දෝලනයකට තුඩු දුන් 2022-08-01 දිනැති 2291/02 ගැසට් නිවේදනයේ සඳහන් 2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝගවල 04(7) වන නියෝගය යටතේ නම් කරන ලද තැනැත්තන්ගේ ලැයිස්තුවට සිදු කරනු ලැබ ඇති සංශෝධන සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයත්, ඒ සඳහා වන පසුබිම හා පෙර තත්ත්වයන් සම්බන්ධයෙනුත් සිදු කරනු ලබන පැහැදිළි කිරීමක් පහත දක්වා ඇත.

පසුබිම
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ VII පරිච්ඡේදය යටතේ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය 2001 සැප්තැම්බර් 28 වන දින UNSC 1373 යෝජනාව ඒකමතිකව සම්මත කරන ලදී.‍ එමඟින් ත්‍රස්තවාදය මැඩලීම අරමුණු කොටගත් වගකීම් මාලාවක් සිය සාමාජික රටවල් වෙත ද පවරා ඇත. ඒ අනුව, 2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ මූලිකව ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා 2012 මැයි මස 15 දිනැති අංක 1758/19 අතිවිශේෂ ගැසට් පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් නිකුත්කර ඇත.
ක්‍රියාවලිය
ඉහත නියෝග ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා විෂයය භාර අමාත්‍යවරයා වන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආරක්‍ෂක විෂයයභාර අමාත්‍යවරයාගෙන් විමසා නිසි බලධාරියා වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පත්කරනු ලැබ ඇත.
ඒ අනුව නිසි බලධරයා විසින් අදාළ නියෝගවලට අනුකූලව විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතන, නීතිය බලාත්මක කරන ආයතන හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යන ආයතනයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් පුද්ගලයන් හා සංවිධාන පසුගිය වසර කිහිපය තුළ ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපයීමේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනයකට ලක්කර සාක්‍ෂි පදනම් කොටගෙන ලැයිස්තුගත කිරීම හෝ ඉවත් කිරීම සිදුකරනු ලබයි.

ඒ අනුව 2014 වසරේ සිට 2022.08.01 දින දක්වා විධිමත් ගැසට් පත්‍ර අටක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි විස්තර පහත දක්වා ඇත:
ගැසට් අංකය නිකුත් කළ දිනය පුද්ගලයන් සංඛ්‍යාව ආයතන සංඛ්‍යාව
නම් කළ ඉවත් කළ නම්කළ ඉවත් කළ
1854/41 21/03/2014 424 – 16 –
1941/44 20/11/2015 155 269 08 8
1992/25 09/11/2016 86 69 08 –
2016/18 20/06/2018 100 – 08 –
2124/32 23/05/2019 125 – 11 –
2140/16 09/09/2019 188 – 11 –
2216/37 28/02/2021 577 – 18 –
2291/02 01/08/2022 316 316 15 6

2022.08.01 දින ප්‍රකාශිත 2291/02 ගැසට් පත්‍රයට අදාළ පූර්ව විමර්ශන කටයුතු 2022 මාර්තු මාසය තුළදී ආරම්භ කළ අතර ඒ අනුව රට තුළ හෝ රටින් පරිබාහිරව ජීවත්වන හෝ ස්ථාපිත ත්‍රස්තවාදී හෝ අන්තවාදී සංවිධාන පිළිබඳව හා එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳවත් ඊට අදාළ මූල්‍ය, වත්කම්, ත්‍රස්ත ක්‍රියා හෝ අන්තවාදී ක්‍රියාවලට ඇති ඍජු හෝ වක්‍ර සම්බන්ධතාවයන් පිළිබඳව සොයාබලා එම පුද්ගලයන් හෝ සංවිධාන ලැයිස්තු ගත කිරීම හා ඉවත්කිරීම සිදුකරන ලදී.
මෙසේ ලැයිස්තු ගත කරන ලද සංවිධානයකට හෝ පුද්ගලයෙකුට ඒ සම්බන්ධයෙන් යම් විරෝධතාවයක් ගොණුකිරීමට අවශ්‍ය වේ නම් ඒ පිළිබඳව නිසි බලධාරියා වෙත අයදුම්පතක් ඉදිරිපත් කරමින් ලැයිස්තුවෙන් ඉවත්කරන ලෙස හේතු සාධකද සහිතව ලිඛිත ඉල්ලීමක් සිදුකිරීමට අවකාශය ඇත. එම ඉල්ලීම පිළිබඳ අදාළ අංශ විසින් පුළුල් තොරතුරු අධ්‍යනයකින් පසුව නිසි බලධාරියා වෙත කරුණු දක්වනු ලැබේ. ඉන්පසුව එම පුද්ගලයා හෝ සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරන්නේද යන්න පිළිබඳ නිර්දේශ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමේ වගකීම නිසි බලධාරයා වෙත පැවරේ. අමාත්‍යවරයාගේ තීරණය අවසන් තීරණය වන අතර අගතියට පත් පාර්ශවයන්ට මහාධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් එම තීරණය අභියෝගයට ලක්කිරීමේ හැකියාව ඇත.
එමෙන්ම, පවතින මුදල් හෝ අරමුදල් තහනමට ගැනීමෙන්, කැටිකිරීමේ (Asset freezing) නියෝගයකින් හෝ වෙනත් ‍මූල්‍යමය වත්කම් හෝ ආර්ථික සම්පත් හෝ වෙනත් අදාළ සේවාවන් මඟින් බලපෑමට ලක්වු කිසියම් පුද්ගලයකුට හෝ ආයතනයකට මහාධිකරණය වෙත පැමිණිලි කිරීමේ අවකාශයද ඇත.

මේ සෑම කාර්යයකම අවසන් තීන්දුව නිසි බලධරයා විසින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඒ අනුව 2012 අංක 01 දරණ එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ සාක්ෂි මත පදනම්ව විධිමත් හා ගැඹුරු තොරතුරු අධ්‍යනයකින් පසුව 2022.08.01 දින අංක 2291/2 ගැසට් පත්‍රය මඟින් පුද්ගලයන් 316ක් හා සංවිධාන 06ක් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. තවද, අලුතෙන් හදුනාගන්නා ලද පුද්ගලයන් 55ක් හා සංවිධාන 03ක් ඇතුළුව පුද්ගලයන් 316ක් හා සංවිධාන 15ක් ඉහත ගැසට් පත්‍රය මඟින් ලැයිස්තුගත කොට ඇත.
ඉවත් කළ සංවිධාන
1. ගෝලීය දමිල සංසඳය (GTF)
2. ඕස්ටේලියානු දමිල කොංග්‍රසය (ATC)
3. ලෝක දමිල සම්බන්ධීකරණ කමිටුව (WTCC)
4. දමිල ඊලාම් මහජන සභාව (TEPA)
5. බ්‍රිතාන්‍ය දමිල සංසඳය (BTF)
6. කැනේඩියානු දමිල කොංග්‍රසය (CTC)

නව ගැසට් පත්‍රය මඟින් ලැයිස්තුගත සංවිධාන
1. දමිල විමුක්ති ඊළාම් කොටි සංවිධානය (LTTE)
2. දමිල පුනරුත්ථාපන සංවිධානය (TRO)
3. දමිල සම්බන්ධීකරණ කමිටුව (TCC)
4. ලෝක දමිල ව්‍යාපාරය (WTM)
5. දමිල ඊළාම් දේශාතික්‍රාන්තික ආණ්ඩුව (TGTE)
6. ලෝක දමිල සහන අරමුදල (WTRF)
7. මූලස්ථාන කණ්ඩායම් (HQ Group)
8. කැනේඩියානු දමිළ ජාතික කවුන්සිලය (NCCT)
9. දමිල තරුණ සංවිධානය (TYO)
10. ජාතික තවුහිද් ජමාතය (NTJ)
11. ජමාතේ මිල්ලතෙ ඉබ්‍රාහිම් (JMI)
12. විලායත් අස් සෙයිලානි (WAS)
13. දාරුල් අදර් (DA)
14. ශ්‍රී ලංකා ඉස්ලාමිය ශිෂ්‍ය ව්‍යාපාරය (SLISM)
15. සේව් ද පර්ල් (Save the Pearl)

මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා www.competentauthority.gov.lk වෙබ් අඩවිය පරිශීලනය කළ හැකිය.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-17

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.