75 වන නිදහස් සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් මෙරටට පැමිණි අමාත්‍යවරු ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ.
ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් මහතා (V. Muraleedharan) පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ජන කොටස් අතර සහජීවනය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී අවධානය යොමු විය. ශ්‍රී ලංකා රජය ගෙන ඇති මෙම පියවර පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රසාදය පළ කෙරිණි.
නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගීවීමට මෙරටට පැමිණි භුතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ජායි බිර් රායි (Jai Bir Rai) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර සංචාරක සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් ( A.K. Abdulla Momen) මහතා අතර හමුව ඉන් අනතුරුව පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් මිත්‍ර රාජ්‍යයන් ලෙස සහයෝගයෙන් ඉදිරියට ගමන් කිරිම පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව ආර්ථික අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ බංග්ලාදේශ රජය ලබාදුන් සහාය පිළිබඳ ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.
පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිනා රබානි (කා)ර් (Hina Rabbani Khar) මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූවාය.
ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය අගය කළ පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය පාකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කළාය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර වෙළෙඳ, සංචාරක සහ ආගමික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාලයේ විදේශ අමාත්‍ය ආචාර්ය බිමලා රායි පෞද්‍යාල් (Bimala Rai Paudya) මහත්මිය අතර හමුව ඉන් අනතුරුව සිදු විය.
දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ නේපාල විදේශ අමාත්‍යවරිය දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ද කියා සිටියාය.
මේ අතර මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් (Abdulla Shahid) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.