Published on: ජනවාරි 24, 2023

75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පිරිසිදු හරිත නගර ගොඩනැංවීමේ වැඩසටහනක් තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන්

හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව “පිරිසිදු හරිත නගර” ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

මෙරට තරුණ්‍යය රටේ සංවර්ධනයට විධිමත්ව දායක කර ගැනීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක “ජාතික යොවුන් වේදිකාව” වැඩසටහන යටතේ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ යොවුන් පාර්ලිමේන්තුව ඒකාබද්ධව මෙය සංවිධානය කරයි.

ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තෝරා ගත් එක් නගරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ මූලික අදියරේ දී සිදු කෙරේ.

ඒ අනුව පෙබරවාරි මස 03 දින සිට 10 දින දක්වා දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335 තුළම තරුණ තරුණියන් 50,000කගේ ශ්‍රම දායකත්වයෙන් තෝරාගත් නගර පිරිසිදු කිරීම ආරම්භ කිරීමට නියමිතය.

75 වෙනි නිදහස් දිනයට සමගාමීව මූලික අදියරේදී ආරම්භ කෙරෙන මෙම නගර 335 සඳහා එම ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා සහ ඊට අනුබද්ධ ආයතනවල දායකත්වය ද ලබා ගන්නා අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රී ලංකා පොලිසිය , සෞඛ්‍ය සේවා කාර්යාල සහ අනෙකුත් ප්‍රජා මූල සහ ස්වේච්ඡා සංවිධානවල ද දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරයි.

අදාළ නගරය මාස්පතා පවිත්‍ර කිරීම සිදු කළ යුතු අතර, එම කොට්ඨාසය තුළ සිටින වෙනත් තරුණ සංවිධාන, විශ්වවිද්‍යාල සිසුන්, පුහුණු මධ්‍යස්ථානවල සිසුන්, බාලදක්ෂයන්, ශිෂ්‍යභට කණ්ඩායම්, පාසල් පරිසර ක්‍රියාකාරිකයන්ගේ දායකත්වය ද වක්‍ර ලෙස ලබා ගැනීමට අපේක්ෂිතය.

එසේම මෙම හරිත නගර ගොඩනැංවීමේ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයින්ගේ ( UNV) දායකත්වය ලැබීම ද විශේෂත්වයකි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.