Published on: දෙසැම්බර් 14, 2022

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනපති අතින් පිළිගන්වයි

ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥනීස්සර නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීය.

අදට යෙදී ඇති හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් අද (14) පෙරවරුවේ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා නායක හිමි බැහැ දැක සුවදුක් විමසා උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය.

දෙස් විදෙස් බොදු ජනතාවගේ නොමඳ ‍ගරු බුහුමනට ලක්වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සුරක්ෂිත කොට මතු පරපුරට දායද කිරීම උදෙසා එය පුජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සංවර්ධනය කිරීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රයට අනතුරුව ජනාධිපතිවරයා විසින් අත්සන් තබනු ලැබිණි.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.