Published on: පෙබරවාරි 20, 2025

සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය අයවැයක් මෙවර සකස් කර තිබෙනවා

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනපතිට සුබ පතයි

සංවර්ධනය මූලික කර ගත් මෙවර අයවැය, සීමිත මූල්‍ය අවකාශය තුළ රාජ්‍ය ආදායම් අංශය ශක්තිමත් කර ගැනීම සඳහා වඩාත් යෝග්‍ය වන පරිදි සකස් කර ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් කාලින්ද ජයවීර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමු කළ ලිපියෙන් අයවැය ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කර ඇත.

ඒ අනුව ස්ථාවර රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රජයට උපරිම සහාය ලබා දෙන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

2025 වර්ෂයට අදාළව ප්‍රකාශයට පත් කරන ලද රජයේ අයවැය ලේඛනය මඟින් පවතින සීමිත මූල්‍ය අවකාශය තුළ රජයේ සේවකයන් සඳහා විශේෂයෙන් මූලික වැටුප ඉතා ඉහළ අගයකින් වැඩි කිරීම මඟින් බරපතළ ලෙස අඩු මූර්ත අගයක් සහිත වැටුපක් ලද රජයේ සේවකයින් හට සාධාරණය සැලසීමට ඉහළම උත්සාහයක් කිරීම ප්‍රශංසනීය බවද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම බදු පැහැර හැරීම නතර කර දැමීම සඳහා මූල්‍ය ගනුදෙනු ඩිජිටල් පද්ධති භාවිතයෙන් සිදු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට යොමු වීමද, ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගත හැකි වන පරිදි හා විනිවිදභාවය තහවුරු කිරීම, වංචාව හා දූෂණය වැළැක්වීම සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් ඇතිවන ආකාරයේ නීති රීති හඳුන්වාදීම සඳහා රජයේ කැපවීම තහවුරු කිරීමද, බදු එකතු කිරීමේ ආයතන කාර්යක්ෂම කිරීම සඳහා කටයුතු කිරීම තවදුරටත් තහවුරු කිරීම සඳහා ඔවුන් වෙත ඉහළ ඉලක්ක ලබා දීමද සම්බන්ධයෙන්ද ජනතා මතය නිවැරදි ලෙස අයවැය මඟින් ප්‍රකාශ වන බව එම ලිපියේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඇතුළු රජය ගන්නා ප්‍රතිපත්තිමය තීරණ කාර්යක්ෂම හා ඵලදායී ලෙස ඉටු කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කැපවී කටයුතු බවද එම ලිපිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.