Published on: අගෝස්තු 15, 2022

ස්වාධීන අධිකරණ ක්‍රියාවලියකට රාජ්‍ය සේවයේ පූර්ණ කැපවීම අත්‍යාවශ්‍යයි. ජනාධිපති ලේකම් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි.

රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් වන අධිකරණ කටයුතු හෝ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් විසින් කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ නිලධාරින් (මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන්) සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතනය ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරු , රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද (15) ලිපියක් යොමු කරමින් මෙම දැනුම් දීම සිදු කර ඇත.
එම කරුණු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XXVII වන පරිච්ඡේදයේ විධිවිධාන හා ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්තුව සමග පමණක් ලිපි ගනුදෙනු කිරීමට වගබලා ගත යුතුය.
ඉහත කරුණුවලට පරිබාහිර කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග ලිපි ගනුදෙනු කරන්නේ නම්, එම ලිපි ගනුදෙනු ජනාධිපති කාර්යාලය හරහා පමණක් සිදු කළ යුතු වේ.
අධිකරණ අමාත්‍යාංශය හෝ වෙනත් රාජ්‍ය ආයතන විසින් තම විෂය පථයට අදාළව එදිනෙදා සාමාන්‍ය පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණ නිලධාරීන් සමග සිදු කරනු ලබන ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් හා අධිකරණ නිලධාරීන් සම්න්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ නොවන බව ද ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-15

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.