– ජනපති
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර 60 වසරක් වූ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමීපතම මිතුරන් ලෙස පමණක් නොව, පොදු දැක්මකින් සහ පොදු අරමුණකින් එක්සත් වූ හවුල්කරුවන් ලෙස ප්‍රගමණය කරා ගමන් කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu) විසින් ඊයේ (28) රාත්‍රියේ කුරුම්බා මෝල්ඩිව්ස් (Kurumba Maldives) නිවාඩු නිකේතනයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට එක් වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු සහ කලාපීය පාර්ශ්වකරුවකු ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ සබඳතා පැවැත් වූ සුන්දර මාලදිවයිනට පැමිණීමට ලැබීම පිළිබඳව මෙහිදී සතුට පළ කළ ජනාධිපතිවරයා දෙරට අතර වූ සමීප මිත්‍රත්වය සහ ඓතිහාසික සබැඳියාව සිහිපත් කළේය.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු සහ පාර්ශ්වකරුවකු ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ අප සමඟ සබඳතා පැවැත් වූ රාජ්‍යයක් වන සුන්දර මාලදිවයින වෙත පැමිණීමට ලැබීම මම මහත් ගෞරවයක් ලෙස සලකනවා.
ප්‍රථමයෙන්, මට සහ මගේ දූත පිරිස වෙත ලබා දුන් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපතිතුමාට සහ මාලදිවයින් රජයට මම කෘතඥතාව පළ කිරීමට කැමතියි. මගේ මේ මාලදිවයින් සංචාරය අප දෙරට එක්සත් කරන දීර්ඝකාලීන මිත්‍ර සබඳතා, එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය සහ අපගේ පොදු අපේක්ෂා යළි තහවුරු කරන සංචාරයක්. ඉන්දියානු සාගරයේ අසල්වැසි රාජ්‍යයන් ලෙස අප දෙරටේ ඉදිරි ගමන් මඟ එකිනෙකා සමඟ බැඳී පවතිනවා. කාලයේ ඇවෑමෙන් අපගේ ජනතාව අතර වර්ධනය වී ඇති අන්‍යෝන්‍ය සුහදශීලි බව, අවබෝධය සහ ඥාතීත්වය අද්විතීය බැඳීමක් නිර්මාණය කර තිබෙනවා. අද මෙම සබඳතා රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ බහුවිධ ක්ෂේත්‍රවල සක්‍රීය සහයෝගීතා ඔස්සේ අඛණ්ඩව පෝෂණය වෙනවා.
අප දෙරට අතර ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීමේ 60 වන සංවත්සරය මෙම මාසයේදී සමරනවා. එය මගේ සංචාරයට වැදගත් වටිනාකමක් එක් කරනවා සේම එම අද්වීතිය අවස්ථාව සැමරීමට මාලදිවයින වෙත පැමිණීමට ලැබීම සැබැවින්ම වරප්‍රසාදයක් ලෙස මම සලකනවා.
1965 වසරේදී මාලදිවයින නිදහස ලබා ගැනීම, දකුණු ආසියානු ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරනවා. මාලදිවයින් නිදහස් ප්‍රකාශනයට අත්සන් තැබීම ලංකාවේදී සිදු කිරීමට අවස්ථාව සලසා දීමෙන් එම ඓතිහාසික ක්‍රියාවලියේ වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව අභිමානයට පත් වෙනවා. එමෙන්ම කීර්තිමත් ශ්‍රී ලාංකික ගාන්ධර්ව දිවංගත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරින් විසින් නිදහස් මාලදිවයිනේ ජාතික ගීයේ තනු නිර්මාණය කරනු ලැබීම අපගේ ආඩම්බරයට හේතු වෙනවා.
අතිගරු ජනාධිපතිතුමනි, අපේ හවුල්කාරිත්වය කලාපීය අසල්වැසි රාජ්‍යයන් අතර සහයෝගීතාවේ පිළිබිඹුවක් බව මා තරයේ විශ්වාස කරනවා. සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම හෝ නීල ආර්ථික මුලපිරීම් ප්‍රවර්ධනය කිරීම හෝ වේවා බහුපාර්ශ්වීය සංසදවල සහයෝගයෙන් කටයුතු කිරීම හෝ වේවා ඒ කවර ආකාරයෙන් වුවද සාමකාමී, සමෘද්ධිමත් සහ තිරසර ඉන්දියානු සාගර කලාපයක් නිර්මාණය කිරීම සඳහා මාලදිවයින සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටිනවා.
ගරු ජනාධිපතිතුමා මා වෙත පැවසුවා ජනාධිපතිතුමාගේ ඉංග්‍රීසි ගුරුවරයා සහ භෞතික විද්‍යා ගුරුවරයා ශ්‍රී ලාංකිකයන් බව. ඒ පිළිබඳව මම ආඩම්බර වෙනවා. විවිධ මට්ටමින් මාලදිවයින් ආර්ථිකයටද, සමාජ ප්‍රගමණයටද දායක වූ එසේ නොමැති නම් ගුරුවරුන් ලෙස පරම්පරා ගණනාවකට දැනුම ලබා දුන් දහස් ගණනක් වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව අපි ආඩම්බර වෙනවා. මාලදිවයිනේදී ශ්‍රී ලාංකිකයන්ට ලැබී ඇති ගෞරවය අප බෙහෙවින් අගය කරනවා. එමෙන්ම, සිය දෙවෙනි නිවහන ලෙස සලකා ශ්‍රී ලංකාවේ අපගේ පාසල්වල සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරන, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා හෝ අප දිවයිනේ සංචාරක සහ ආගන්තුක සත්කාර භුක්තිවිදින මාලදිවයින් ජාතිකයින් අපි අගය කරනවා. ඔවුන් හුදෙක් එකිනෙකාගේ රටවල වාසය කරන විදේශිකයන් පමණක් නොව අපගේ ජාතීන් යා කරන පාලම්ද වෙනවා.
සංචාරක ව්‍යාපාරය අප දෙරටේ ආර්ථිකයේ ප්‍රධාන අංගයක් වෙනවා. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් කර ගත් ඉහළම රටවල් දහය අතර මාලදිවයිනද සිටිනවා. මෑත වසරවලදී මාලදිවයින් සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා. දෙවන නිවහනක අත්දැකීම් විඳගැනීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අපි මාලදිවයින් සංචාරකයන්ට ආරාධනා කරනවා.
අතිගරු ජනාධිපතිතුමනි, අනාගතය දෙස නෙත් යොමන විට අප දෙරට මිතුරන් ලෙස පමණක් නොව, පොදු දැක්මකින් සහ පොදු අරමුණකින් එක්සත් වූ හවුල්කරුවන් ලෙස එකිනෙකාට සමීපව ප්‍රගමණය කරා ගමන් කරනු ඇතැ’යි යන්න මගේ විශ්වාසයයි. මෙම සංචාරය අප දෙරට අතර වඩාත් ගැඹුරු සහයෝගීතාවක්, පුළුල් අවබෝධයක් සහ වඩා යහපත් මිත්‍රත්වයක් සඳහා මඟපාදනු ඇතැ’යි මම විශ්වාස කරනවා.
ඔබතුමාට නිරෝගීමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරන අතරම, මාලදිවයින වඩා සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම සඳහා ඔබතුමාට ධෛර්යය ප්‍රාර්ථනා කරනවා!
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු මෙරට දූත පිරිසද එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.