Published on: ඔක්තෝබර් 9, 2024

වියට්නාම තානාපතිවරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙයි

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් වැඩි දියුණු කිරීමට අවධානය

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අද (09) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම නිමිත්තෙන් තමාගේත්, වියට්නාම රාජ්‍ය නායකයාගේ සහ රජයේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනැමූ තානාපතිනිය දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සිය සුබවාදී අදහස් පළ කළාය.

සෘජු විදේශ ආයෝජන (FDI) සහ වෙළෙඳ ක්ෂේත්‍රය තුළ වියට්නාමය ලබා ඇති ජයග්‍රහණයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ශ්‍රී ලංකාවේ එම ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් වියට්නාමයේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ඓතිහාසික බෞද්ධ සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර දෙරට අතර සෘජු ගුවන් ගමන් වැඩි දියුණු කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

වියට්නාම සංචාරකයින්ගේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම තුළින් දෙරටේ ජනතාව අතර සබඳතා පුළුල් කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර දෙරට අතර සංචාරක ව්‍යාපාරය පුළුල් කර ගැනීමේ නව අවස්ථා පිළිබඳ සොයා බලන බවටද තානාපතිවරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සහතික වූවාය.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම වෙනුවෙන් දෙරටේම කැපවීම පිළිබඳව මෙම හමුවේදි වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.