Published on: අගෝස්තු 5, 2025

රාජ්‍ය සේවය නූතනත්වයේ සංස්කෘතියකට ගෙන යාමට සියලුදෙනා එක්වෙමු!

– ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 41 වන වාර්ෂික සමුළුව අමතමින් ජනපති පවසයි

භෞතික සහ ආධ්‍යාත්මික වශ‌යෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය.

නූතනත්වයේ සංස්කෘතියකට රාජ්‍ය සේවය ගෙන යා යුතු බවත් එය ආරක්ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නටබුන් වූ රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා එහි භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමට ලබන වසරේ අයවැයේදී ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී අද (05) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ (SASA) 41 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 41 වන වාර්ෂික සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න සහභාගීත්වයෙන් අද (05) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය යනු රාජ්‍ය සේවයේ ප්‍රමුඛතම දීප ව්‍යාප්ත සේවාව වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් වෘත්තීය සංවිධානයයි. මෙවර එහි වාර්ෂික සමුළුව පවත්වනු ලැබුවේ වසර 05කට පසුව වීම විශේෂත්වයකි.

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා පසුගිය අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ඉදිරියට ගෙන යමින් ලබන වසරේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කරන බවත් 2027 වසර සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ආකර්ෂණීය රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමටදේශපාලන අධිකාරිය ලෙස ආණ්ඩුව කැප වී සිටින බවත්, ඊට රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ කැපවීම අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සදහන් කළේය.

රාජ්‍ය සේවයේ සුළුතරයක් අතින් තමන්ට පැවරී ඇති වගකීම ගනුදෙනුවක් බවට පත් වී ඇති බවත් එසේ සමාජ වටිනාකමෙන් ඔබ්බට ගිය මූල්‍ය වටිනාකම්වලට මුල් තැන දුන් රාජ්‍ය සේවය එම තත්ත්වයෙන් මුදවාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන්ට පුරවැසියා කෙරෙහි ඇති වගකීම චක්‍රලේඛයකින් හෝ අණපනත්වලින් බැඳ තැබිය නොහැකි බවත් සමාජ වටිනාකම් හා සමාජ හර පද්ධතීන්වලට මුල් තැන දෙන නිලධාරීන් බිහි විය යුතු බවත් පැවසු ජනාධිපතිවරයා තමන්ට ලැබී තිබෙන වගකීම අනෙකා තලා පෙළා දැමීමට නොව යහපත් රාජ්‍ය සේවයක් ගොඩනඟමින්, ජනතාවට ඉතා උසස් ජීවිතයක් ලබා දීම වෙනුවෙන් යෙදවීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත් හිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවය අද සංධිස්ථානයකට පැමිණ ඇති බවත් තවදුරටත් කාලයක් ගත කරමින් ඉදිරියට යා හැකි බවත්, එසේ නොමැති නම් අපගේ කාර්යභාරය පිළිබඳ ස්වයංඇගැයීමකට ලක් කර පුරවැසියාගේ අවශ්‍යතාව මත කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීමට අවශ්‍ය මාර්ගය තෝරා ගැනීමට කාලය එළඹ ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

නව පරිවර්තනීය වෙනසකට අවශ්‍ය පරිදි නව අත්හදා බැලීම් සිදු කරමින් පුරවැසියාට අවශ්‍ය රට නිර්මාණය කිරීමට කටයුතු කළ යුතු බවත් නටබුන් වූ රාජ්‍යය දේහය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ෙකටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව
මෙය විශේෂ අවස්ථාවක්. මෙතන ඉන්න අය විවිධ අවස්ථාවල අපිට මුණ ගැසී තිබෙනවා. අපිත් එක්ක එකට ඉගෙනගත්තු අය ඉන්නවා. විශ්වවිද්‍යාලයේදී, ඒ වගේම අපිත් එක්ක විවිධ සමාජ ක්‍රියාකාරකම්වල යෙදුණ අය ඉන්නවා. ඒ හින්දා විවිධ අවස්ථාවල අපි විවිධ ක්ෂේත්‍රවල වැඩ කරමින් මුණගැසී තිබෙනවා. හැබැයි, ඒ හැම හමුවකටම වඩා ‘මේ හමුව’ වැදගත් හමුවක්. මොකද අපේ රටේ රාජ්‍ය සේවයේ ප්‍රමුඛතම සේවාවක් වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මේ වාර්ෂික සමුළුවට සහභාගි වෙලා ඉන්න ඔබ අපේ රාජ්‍ය දේහය පවත්වාගෙන යාම සඳහා විශාල වෙහෙසක් සහ වගකීමක් දරන පිරිසක්. ඒ නිසා ඔබ සමඟ මෙවැනි සාකච්ඡාවක් කරන්න ලැබීම පිළිබඳව බෙහෙවින්ම සතුටට පත්වෙනවා.
මෙහි ආරම්භයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ මේ දක්වා වර්ධනය වූ ඉතිහාසය පිළිබඳ වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කෙරුණා. අපේ පරිපාලන සේවයට දිගු ඉතිහාසයක් තිබෙනවා. ඒ වගේම නිදහසෙන් පසුව පමණක් ගත්තත් අපේ දේශපාලන ක්ෂේත්‍රයටත් දිගු ඉතිහාසයක් තිබෙනවා. ඒ නිසා අපේ මේ රාජ්‍ය සේවයත්, දේශපාලන යාන්ත්‍රණයත් ඒකාබද්ධව දිගු කාලයක් මේ රට මෙහෙයවා තිබෙනවා.
හැබැයි, අපි අපේ රට මේ තිබෙන තත්ත්වය දෙස බැලුවොත් දේශපාලන අධිකාරියටත් ඒ හා බැඳුණු රාජ්‍ය දේහයටත් අපේ රට තිබෙන තැන පිළිබඳව සතුටු විය හැකිද? අපි විවිධ නීති සම්මත කර තිබෙනවා. අණපනත් සම්මත කර තිබෙනවා. විවිධ බලයන් ලබා දී තිබෙනවා. විවිධ දේශපාලන පෙරළි ඇති කර තිබෙනවා. විවිධ තනතුරු නාමයන් වෙනස් කර තිබෙනවා. හැබැයි, අපි ආපසු හැරිලා බැලුවොත් මම හිතන්නේ අපි හැමදෙනාම ස්වයංව අපේ හෘදසාක්ෂියෙන් විමසුවොත් මේ රාජ්‍ය සේවය තිබෙන ස්ථානය පිළිබඳව අපිට තෘප්තිමත් විය හැකිද? මම හිතන්නේ අපි කිසිවෙකුට ඒ පිළිබඳව තෘප්තිමත් විය නොහැකියි. අපි අප ගැන මැනීම පසකින් තබා, සාමාන්‍ය පුරවැසියන්ගෙන් ගිහින් අහන්න ඔහු තෘප්තිමත්ද කියලා. ඔහු තෘප්තිමත්භාවයට පත් වෙලා නැහැ. ඒ නිසා අපි ඉතා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙන අවස්ථාවක තමයි ඔබේ මේ සමුළුව පැවැත්වෙන්නේ. අපිට මේ සන්ධිස්ථානයේදී තෝරා ගත හැකි මාවත් 02ක් තිබෙනවා.

එක පැරණි ඕලාරික ඔහේ කාලය ගත කරමින් තමන්ට පැවරී තිබෙන කාර්යභාරය, ඒ මොහොතට අනුව පමණක් ඉටු කරමින් සිටින මාවත තෝරා ගත හැකියි. එය දිගු කාලයක් අපේ රට ගමන් කරපු මාවත. ඉතාමත් පහසු මාවත.
හැබැයි, තව මාවතක් තිබෙනවා. අපගේ කාර්යභාරය නිසි පරිදි මේ රාජ්‍යය ගොඩනැඟීමටත් ජනතාවගේ ජීවිත සුවපත් කිරීම සඳහාත් කෙතරම් උපයෝගී වී තිබෙනවාද යන්න ස්වයංඇගයීමකට භාජනය කරමින් මෙය පරිවර්තනයට ලක් කරනවා කියන අදිටනින් යුතු ව සියලුදෙනා කටයුතු කිරීම. එය කිසිසේත් පහසු මාවතක් නොවෙයි. මොකද, සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ගති ලක්ෂණයක් තිබෙනවා, මිනිස්සු පුරුද්දට ඇබ්බැහි වෙනවා. මිනිස්සු අත්හදා බැලීම්වලට බිය වෙනවා. අපි දෛනිකව සිදු කරන ක්‍රියාකාරකම් තිබෙනවා නම් අපි දෛනිකව අපේ රාජකාරිය මෙහෙවනවා නම් අපි පුරුද්දට ඇබ්බැහි වෙමින් ඒ රාජකාරිය මෙහෙවන්න පුළුවන්.
හැබැයි, අපි නව අත්හදා බැලීම් කරනවා නම්. නව පරිවර්තනයන්ට සූදානම්. හැබැයි, ඊට පුරුද්දේ බලය අභියෝග කරනවා. ඒ පුරුද්දේ බලය නව පරිවර්තනයන් සඳහා තිරිංග යොදනවා. හැබැයි, මිනිස් ශිෂ්ටාචාරය අද අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණයන් දෙස, ප්‍රගමණය දෙස අපි නැවත හැරී බැලුවොත්, මිනිස් ශිෂ්ටාචාරය මේ අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ පසුපස තිබෙන ප්‍රධාන රහස වන්නේ අත්හදා බැලීම්වලට බිය නොවීමයි.
නව තත්ත්වයන්ට අනුරූප වන පරිදි අනුර්තනය වීම ඉතා වැදගත් වෙනවා. එසේ, අනුවර්තනය වෙන්නේ නැත්නම් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා මම පළමුවෙන්ම ඔබගෙන් ඉල්ලන්නේ ඔබ නව පරිවර්තනයන්ට අනුවර්තනය වීමට සූදානම් වෙන්න. නව තත්ත්වයන්ට අනුවර්තනය වීමට සමත් නොවෙන ජීවියෙක්, සිද්ධාන්තයක් පවතින්නේ නැහැ. ඉතා වේගයෙන් විනාශයට යනවා. ඒ නිසා මගේ පළමු ඉල්ලීම වන්නේ ඔබ නව තත්ත්වයන්ට අනුරූප වන පරිදි අනුර්තනය වෙන්න සූදානම් වෙන්න.
හැබැයි, මම මේ නව තත්ත්වයකට අනුවර්තනය වෙන්න කියා ඉල්ලා සිටින්නේ නටබුන් වූ රාජ්‍යයක. අපේ රාජ්‍ය දේහයම නටබුන් වෙලා තිබෙන්නේ. භෞතිකවත් අධ්‍යාත්මිකවත් අපේ රාජ්‍ය දේහය නටබුන් වී තිබෙනවා. මේක තමයි යථාර්ථය. අපි ඉදිරියේ තිබෙන කටුක සත්‍යය අපි අපිවත් සාකච්ඡා කරන්නේ නැත්නම් අර සොහොනක් ඉදිරියෙන් යන විට අහක බලාගෙන යනවා වගේ අපි යනවා නම් අපිට මේ පරිවර්තනය කරන්න බැහැ.
ඒ නිසා පළමුවෙන්ම අපි ඉදිරියේ තිබෙන කටුක යථාර්ථය ස්වභාවය, ඇත්ත අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපි විවෘත කර ගන්න අවශ්‍යයි. අපි එය සංවාද මේසයට ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මොකක්ද අපි හමුවේ තිබෙන යථාර්ථය?
මම දන්නවා, අද මෙහි සිටින නිලධාරින්ට ලබා දී තිබෙන නිල වාහන වසර 15 – 16කට වැඩි පැරණි නටබුන් වූ වාහන. ඔබගේ මේසය මත තිබෙන පරිගණකය පැරණි නටබුන් බවට පත් වූ ඒවා. ඒ නිසා භෞතික වශයෙන් මේ රාජ්‍ය නටබුන් බවට පත්ව තිබෙනවා. ඒ නිසා අපිට නටබුන් වූ රාජ්‍ය සේවයක සිට නූතන රාජ්‍යයක් නිර්මාණය කිරීමට හැකි වන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ සහාය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට මෙවර අයවැයේදී අපි විශේෂ අවධානයක් යොමු කරනවා.

අපි ඉතා වේගයෙන් ඩිජිටල්කරණ ක්‍රියාවලියට යොමු විය යුතුයි. අපේ ඊළග පියවරේ ඉතා වැදගත්ම පරිවර්තනය එයයි. හැබැයි, එම පරිවර්තනය සඳහා පුරුද්දේ බලය බාධා කරමින් තිබෙනවා. මම දන්නවා සමහර ආයතනවල මෘදුකාංග පද්ධති නිර්මාණය කර තිබෙනවා. ඒක ඇත්ත අපි පිළිගන්නවා. ඒක හොඳයි. දිසාපතිවරුන්ගේ සාකච්ඡාවකදී එක් දිසාපතිතුමියක් මට පැහැදිලි කළා, එතුමියගේ කාර්යාලය ඩිජිටල්කරණය කිරීම ගැන.
ඊට හේතු වී තිබෙන්නේ එම කාර්යාලයේ ඩිජිටල්කරණයට කැමති නිලධාරීන් සිටිනවා. එවිට එය සිදු වී තිබෙන්නේ එහි සිටින පුද්ගලයන්ගේ කැමැත්ත මත, පොදු පරිවර්තනයක් ලෙස නෙවෙයි. පුරුද්දේ බලය මීට අභියෝග කරමින් සිටිනවා. එහෙත් අපේ රාජ්‍ය සේවය නව්‍යකරණයට ලක් කිරීමට අපිට පොදු සද්-වුවමනාවක් තිබෙනවා. එහිදී ඔබට මෑත ඉතිහාසයේ සිදු කළ වැඩිම මූලික වැටුප් වැඩි වීම අපි ලබා දුන්නා.
මෙම වැටුප් වැඩිවීම ගෙවන්න මේ වසරේ කෝටි 11,000ක් අවශ්‍යයි. ලබන වසරේ ජනවාරි මාසයේ ඔබට නැවත වැටුප් වැඩිවීමක් සිදු වෙනවා. ඒ සඳහාත් කෝටි 11,000ක් අවශ්‍යයි. 2027 වැටුප් වැඩිවීමටත් කෝටි 11,000ක් අවශ්‍යයි. ඒ නිසා මේ වැඩිකරන වැටුප් ගෙවීම සඳහා අපිට රුපියල් කෝටි 33,000ක වැය බරක් දැරීමට සිදු වෙනවා. එය මේ ගෙවන වැටුපට අමතරවයි. අපි එය 2027 අයවැය ලේඛනයෙන් වෙන් කළ යුතුව තිබෙනවා. මෙවර අයවැයෙන් කෝටි 11,000ක් වෙන් කළා. ලබන වසරේ අයවැයෙන් එය කෝටි 22,000ක් බවට පත් වෙනවා. 2027 මේ සමස්ත වැටුප් වැඩිවීම ගෙවන්න රුපියල් කෝටි 33,000ක වැය බරක් දැරීමට සිදු වෙනවා. අපි දන්නවා අපේ රාජ්‍ය සේවය ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමට නම් සාධාරණ වැටුප් තලයක පිහිටු විය යුතුයි. අපි එය සිදු කර තිබෙනවා. 80%ක වැටුප් වර්ධක ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා.
එහෙත් රාජ්‍ය දේහයේ ඇතැම් ස්ථානවල නිලධාරීන්ට වගකීම්වලට ඔවුන්ගේ වගවීම දක්නට ලැබෙන්නේ නැහැ. ලොකර් එකේ මුදල් තබාගෙන සිටින නිලධාරින් හමු වුණා. මේවා අධ්‍යාත්මයේ ගැටලු. සිරකරුවන් ළඟ මාංචු වගේම ඒවායේ යතුරු තිබෙනවා. මෙම ගැටලුව කුමක්ද? තමන්ගේ වගකීම සහ සමාජ වටිනාකම මූල්‍ය වටිනාකමක් බවට පරිවර්තනය වී තිබෙනවා. සියලු මනුෂ්‍යත්වයන් අයිස්වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා. ඒවා චක්‍රලේඛවලින් අණපනත්වලින්, ව්‍යවස්ථාවෙන් නිර්මාණය කළ හැකි දේවල් නොවෙයි. පුරවැසියන් ලෙස තමන්ගේ වගකීම් සහ සමාජ බැඳීම් ලෙස තේරුම් ගත යුතුයි.

අපි නූතන රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට නම්, මම ඉහත කී අරමුණු වගේම නව අධ්‍යාත්මයක් සහිත රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතුයි. නව වටිනාකම් සහ හර පද්ධතියක් අපගේ රාජ්‍ය සේවයට අවශ්‍යයි. ඒ වගේම වටිනාකම් යන්නෙහි සැබෑ අර්ථය අපි හදුනාගත යුතුයි. වටිනාකම් යනු අධිපරිභෝජනවාදය හෝ අනෙකා තලා පෙළා දමමින් ඉහළින් වැජඹීම නොවෙයි. මෙම වැරදි වටිනාකම් සහ හර පද්ධති වෙනුවට නව වටිනාකම් පිළිබඳ හර පද්ධතියක් සමාජයට අවශ්‍ය වෙනවා. මෘදු බව, සහකම්පනය, තමන්ට පැවරී ඇති වගකීමට වගවීම ආදිය අවශ්‍ය වෙනවා. අපි සියලුදෙනාම පුරවැසියන්. ඒ වගේම අපි එකිනෙකාට තම තම ක්ෂේත්‍රවල වගකීම් පැවරී තිබෙනවා. එම එකදු වගකීමක්වත් අනෙකා තලා පෙළා දැමීමට භාවිත නොකළ යුතු බව අපි තේරුම් ගත යුතුයි. අපි සෑමදෙනා දෙසම අපේ රටේ පුරවැසියන් ආයාචනාත්මකව බලා සිටිනවා. ඔබ මේ ඇති වී ඇති තත්ත්වයෙන් අපේ රට සහ පුරවැසියන් මුදා ගනීද යන්න පිළිබඳව ආයාචනාත්මක දෙනෙතින් බලා සිටිනවා. අපිට මේ වෙලාවේ එය මඟහරින්න අයිතියක් නැහැ.

ඔබ සහ අප එම පරිවර්තනය සිදු නොකළහොත් අපේ රටේ පුරවැසියන් සිහිනයකින්වත් අලුත් ලෝකයක් සහ යහපත් දේ අපේක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා මේ යහපත් දේ නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ඔබට අපට කාර්යභාරයක් තිබෙනවා.

ඇතැම් විමර්ශන පිළිබඳ යම් විවේචන සහ අදහස් ඉදිරිපත් වෙනවා. කිසිවෙක් ඒ පිළිබඳ බිය විය යුතු නැහැ. නිලධාරින්ගේ අතීත භාවිතයන් තිබෙනවා. එකිනෙකා පිළිබඳ ඇසුණු දේ තිබෙනවා. එකිනෙකා පිළිබඳ දන්න දේ තිබෙනවා. හැබැයි, අපි ඔබ දෙස බලන්නේ එක් එක් නිලධාරියා පිළිබඳ එළඹගත් පැරණි මතවාද අනුව නොවෙයි. ඒවා අපිට අදාළ වන්නේ නැහැ. එහෙත් අපි ඔබව මනින්නේ වගකීම භාර දුන් දවසේ සිට ඔබ කටයුතු කරන ආකාරය අනුවයි. අතීත සිදුවීම් විමර්ශනය කෙරෙනවා. ඔබ දිනකට අත්සන් දහස් ගණනක් යොදනවා. සමාජ වටිනාකමක් නිර්මාණය කිරීමට තිබෙන මෙම අත්සන මූල්‍ය වටිනාකමක් සඳහා උපයෝගි කරගෙන තිබෙනවා නම් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. එය කිසිසේත්ම රාජ්‍ය සේවය දඩයම් කිරීම, රාජ්‍ය නිලධාරින් බිය වැද්දීම ලෙස සලකන්න බැහැ. එහෙම වුවමනාවක් අපිට නැහැ.

මා දැක්කා හිටපු ජනාධිපතිවරයෙක් මෑතකදි කියලා තියෙනවා අල්ලස් කොමිසමට ඔහොම කරගෙන යන්න ඉඩ දෙන්න මොකුත් කියන්න එපා. එවිට එහි ක්‍රියාමාර්ගවලට එරෙහිවම කට්ටිය නැගී සිටියි කියලා ප්‍රාර්ථනාවක් තිබෙනවා. එතැනින්ම තමයි ආණ්ඩුව වැටෙන පාර තිබෙන්නේ කියලා ඔවුන් සිතනවා. මෙම නීතිය ක්‍රියාත්මක කරන විට අරයා තරහා වෙයි, මෙයා තරහා වෙයි, එතකොට ආණ්ඩුව බිඳ වැටෙයි කියලා හිතනවා. ඒ කියන්නේ මොකක්ද? යළි නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වීමයි. යළි රාජ්‍ය සේවයට අවශ්‍ය වන සීමා මායිම් ගෙන ඒම ආණ්ඩුවක් පළවා හැරීමට හේතුවක්ද කියා මම දැන ගන්නට කැමතියි.

අපි විසින්ම යළි මෙරට රාජ්‍ය සේවයට නව සංස්කෘතියක් කැඳවිය යුතුයි. පුරවැසියන්ට සතුටුදායක රාජ්‍ය සේවයක් සැලසිය යුතුයි. බදාදා දිනයට ඔබගේ කාර්යාලයට පැමිණෙන පිරිසෙන් කී දෙනෙක් නැවත නැවත එන අයද කියා ඔබ සොයා බලන්න. ඇයි එහෙම වෙලා තිබෙන්නේ?. ඒ නිසා අපි උපරිම උත්සාහ කරමු අපේ රාජ්‍ය සේවය නව සංස්කෘතියකට පරිවර්තනය කිරීමට. ඒ වෙනුවෙන් උපරිම සහාය ලබා දෙන්නම්. ඒ වෙනුවෙන් ගනු ලබන ඕනෑම තීන්දුවක ආරක්ෂකයන් බවට අපි පත් වෙමු. අපි දඩයම්කරුවන් නොවෙයි, එහෙත් යළි අපේ රට ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වෑයමක් අපිට තිබෙනවා. එය කිසිවකු බිය විය යුතු වෑයමක් නොවන අතර ආශිර්වාදය ලබා දිය යුතු වෑයමක්. ඒ වෙනුවෙන් ඔබ එකතු වෙයි කියා මම විශ්වාස කරනවා.

මේ රට නව පරිවර්තනයක් සඳහා ගෙන යාමේ වුවමනාවක් වගේම අභියෝගයක් අපිට තිබෙනවා. ඔබ ඔබෙන් විමසුවොත් මේ රට පිළිබඳ ඔබට සතුටු විය හැකිද කියා, මේ රටටත්, ජනතාවටත් මීට වඩා යහපත් අනාගතයක් උරුම කර දීමේ සද්-වුවමනාව තිබෙන හදවතක් ඔබට තිබෙනවා. එහෙත්, අපේ සද්-වුවමනාව සහ කාර්යය අතර පරස්පරතාවක් මතුව තිබෙනවා. ඔබේ ඇත්ත හෘදසාක්ෂියට අනුව වැඩ කරන්න පටන් ගන්න. ඇත්ත හෘද සාක්ෂියට සවන් දෙන්න පටන් ගන්න. මෙම සද්කාර්යය කළ හැකි වන්නේ දේශපාලන අධිකාරියත්, රාජ්‍ය අංශයත් ඒකාබද්ධ අරමුණකින් වැඩ කළහොත් පමණයි.

අපිට දේශපාලන අධිකාරිය ලෙසත්, ඔබට රාජ්‍ය සේවය ලෙසත් පැවරී තිබෙන වගකීමක් තිබෙනවා. අපි එය කිසිසේත් වෙනස් කර ගන්නේ නැහැ. අපි එකම අරමුණක් වෙනුවෙන් අපේ රාජකාරී ඉටු කරමු.

විවිධ අවස්ථාවල පොදු අරමුණක් වෙනුවෙන් සාකච්ඡා කළ පිරිස් සිටිනවා. මිතුරන් ලෙස වැඩ කළ කණ්ඩායම් සිටිනවා. මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි සියලුදෙනා එක් වී මේ පරිවර්තනය සිදු කරමු. ශක්තිමත් රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්නත්, ඉතා උසස් ජීවිතයක් සඳහා ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහාත් අපි සියලුදෙනා එක්ව වැඩ කරමු’යි කියා ආරාධනා කරමින් ඔබගේ මේ සමුළුවට මම සුබපතනවා.

අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය

කාලයක් තිස්සේ අපේ රට තුළ, රාජ්‍ය පරිපාලන සේවය තුළ, එම සේවයේ තියෙන වටිනාකම සහ ගරුත්වය යම්කිසි විදිහකින් අඩු වී තිබෙනවා. ඊට දේශපාලන මැදිහත් වීමද හේතුවක් වී තිබෙනවා. එමගින්, රාජ්‍ය පරිපාලන සේවය තුළ ජනතා විශ්වාසය බිඳ වැටී තිබුණා. දිගු ඉතිහාසයක් තිබෙන රාජ්‍ය පරිපාලන සේවය පිළිබඳ ජනතාව තුළ විශ්වාසය ඇති කරන්නේ කෙසේද කියා අප නැවත සිතා බැලිය යුතුයි. ජනතාවාදී පාලනයක් පිහිටුවීමට දේශපාලන අධිකාරිය හැටියට අප මැදිහත් වෙනවා.

ඔබ සිදු කරන අතිශය වැදගත් රාජකාරිය ජනතාවාදී සේවයක් බවට පත්කිරීමට දේශපාලන අධිකාරිය මගින් කළ හැකි සියලු දේ සිදු කරනවා. ඒ පරිවර්තනීය වෙනස සිදු කිරීමට ඔබගේ දායකත්වය අවශ්‍යයි. රාජ්‍ය සේවයේ වැරදි වැඩක් කිරීමට අප ඔබෙන් ඉල්ලන්නෙත් නැහැ. අපි අනුමත කරන්නෙත් නැහැ. ඒ විශ්වාසය තුළ මේ රටේ පරිවර්තනීය වෙනසක් ඇති කළ හැකියි. ඒ විශ්වාසය මත ඔබගේ සේවයේ කටයුතු කරන ලෙස අප ඉල්ලා සිටිනවා. රට වෙනුවෙන් ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එම විශ්වාසය ඔබට ශක්තියක් වනු ඇතැ’යි අප විශ්වාස කරනවා.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා

ඩිජිටල්කරණයේ බලය රාජ්‍ය සේවයට ලැබීමත් සමඟ කාර්යක්ෂම සේවාවක් පුරවැසියාට ලබා ගත හැකියි. ජාත්‍යන්තර මට්ටමේ හැකියාවන් තිබෙන රටක් ලෙස ඉදිරියට යාමට නම් රාජ්‍ය පරිපාලන සේවයට ඩිජිටල්කරණය ඉතාම අවශ්‍යයි. ශ්‍රී ලංකා ක්‍රිකට්, ශ්‍රී ලංකාවේ ඉතිහාසය ආදිය ලෝකයේ සුවිශේෂ ස්ථානයක් දිනා ගෙන තිබෙනවා වගේම ඩිජිටල්කරණය තුළින් රාජ්‍ය සේවයත් ලෝකයට ගෙන යා හැකියි. එම නිසා මෙම අවස්ථාව මඟ නොහැර ලබා ගත යුතුයි.

මීට පෙර පැවති ආර්ථික අර්බුදයෙන් කෙටි කාලයක් ඇතුළත ගොඩ ඒමට රාජ්‍ය පරිපාලන සේවය කළ සේවය ඉතාම වැදගත්. අර්බුදය සමයේ ශ්‍රී ලංකාව දුටු ජාත්‍යන්තර ප්‍රජාව මේ තරම් ඉක්මනින් එම අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වේ යැ’යි සිතුවේ නැහැ. එහෙත් එම භාරදුර වගකීම ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවය භාර ගත්තා. එයට ඩිජිටල්කරණයත් එක් කළ විට ශ්‍රී ලංකාව ලෝකයට ඔසවා තැබීමට එතරම් අපහසු වන්නේ නැහැ.

ලෝක මට්ටමේ පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමට ඩිජිටල්කරණය මගින් හැකියාව තිබෙනවා. එම නිසා මෙම අවස්ථාව අත් නොහැර අල්ලා ගත යුතුයි.

මෙහිදී, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් සකස් කරන ලද පර්යේෂණ සඟරාවක්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න ඇතුළු අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නිලධාරින් ඇතුළු එහි සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.