Published on: ජූලි 28, 2025

මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ජූලි 28 සිට 30 වන දා දක්වා සිදු කෙරෙන රාජ්‍ය සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා – මාලදිවයින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටද නියමිතය.

එමෙන්ම, මෙම රාජ්‍ය සංචාරය අතරතුර, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසද හමුව ඇමතීමට සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද නියමිතය.

මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටිති.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.