අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ මෙම ගැටලුව හා සම්බන්ධ සියලුම අමාත්‍යාංශ හා ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැති සාකච්ඡාවේදීය.
නිල්වලා ලවණ බාධක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේ ප්‍රගතිය විමසා බැලීම මෙහිදී සිදු කෙරිණි. එම සාකච්ඡාවේ දී නිල්වලා ලවණ බාධකය හේතුවෙන් මාතර ප්‍රදේශයට බලපාන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා දිගුකාලීන සහ කෙටිකාලීනව ගත හැකි ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා පියවර ගැනීමට සියලුම පාර්ශ්ව එකඟ වූහ. මෙම සාකච්ඡාවේ දී ඒ සම්බන්ධ ප්‍රගතිය විමසා බලන ලදී.
ඒ අනුව දීර්ඝකාලීන විසඳුම් සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කරන ලෙසට පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා අනුබද්ධිත ඉංජිනේරු සැලසුම් මධ්‍යස්ථානය වෙත පවරා ඇති බව නිලධාරීන් විසින් දැනුම් දෙන ලදී. එහිදී ලවණ බාධකය ඉදිකිරීමෙන් අනතුරුව පැන නැඟී ඇති තත්වය සැලකිල්ලට ගෙන විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවටද කරුණු ඉදිරිපත් කරන ලදී.
කෙටි කාලීන විසඳුම් ලෙස හදිසි ගංවතුර තත්වයක් ඇති වුව හොත් ජලය වේගයෙන් බැස යා හැකි ලෙස මේ වන විට ගඟෙහි පවතින ගස් ඇදවැටීම් වැනි බාධක ඉවත් කිරීමට සහ ඇළ වේලි සුද්ද පවිත්‍ර කිරීමටත්, මීට පෙර ජල සම්පාදන මණ්ඩලය විසින් වැලි කොට්ට යොදා ඉදිකරන ලද තාවකාලික ලවණ බාධකය ඉවත්කිරීමට කටයුතු කර ඇති බවටත් මෙහිදී තොරතුරු වාර්තා කරන ලදී.
එමෙන්ම, අප්‍රේල් මාසය වන විට නිල්වලා ගං මෝය ගැඹුරු කිරීමටත්, ගංවතුර තත්ත්වයකදී අමතර ජලය තාවකාලිකව රඳවා ගැනීමට හැකිවන පරිදි ඇළ මාර්ග ගැඹුරු කිරීමටත් පියවර ගෙන ඇති බව දන්වා සිටින ලදී. තවද, ජලය කඩිනමින් ඉවත් කිරීමට යොදවා ඇති ජල මෝටර්වල ධාරිතාව ඉහළ නැංවීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙහිදී යෝජනා කරන ලදී.
මීට අදාළව ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක්ම මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මාතර නිල්වලා ගඟේ ඉදි කර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවටද, කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවටද ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වී තිබේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.