Published on: මැයි 19, 2025

බෝපේ රාජසිංහ මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී

පවතින අධ්‍යාපන ක්‍රමය අදියරෙන් අදියර වෙනස් කිරීමට කටයුතු කරනවා
– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පාදුක්ක, බෝපේ රාජසිංහ මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අද (19) ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සමඟ එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘විෂන්’ වැඩසටහන් මාලාවට සමගාමීව බෝපේ රාජසිංහ විද්‍යාලයට මෙම අවස්ථාව හිමි විය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එක් වූවාය.

ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් ඇමතූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ රටක ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට නම් ක්‍රියාකාරී පුරවැසියන් බිහි කළ යුතු බවත්, සක්‍රීය පුරවැසියන් බිහි කිරීම රජයේ අරමුණ බවත්ය.

ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර පවතින සබඳතාව තවදුරටත් දියුණු කළ යුතු බවත්, පවතින අධ්‍යාපන ක්‍රමය අදියරෙන් අදියර වෙනස් කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මේ අතර ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජික සාමාජිකාවන් යොමු කළ ප්‍රශ්නවලටද අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබා දුන්නාය.

බෝපේ රාජසිංහ මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් හට අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධව දැනුම්වත් කිරීමක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී, නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයකු දිවුරුම් දීම සහ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමද සිදු කෙරිණි.

අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ ලංකා බැංකු ගිණුම් විවෘත කිරීමද සිදු කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එම්. එන්. කුමාරසිංහ, පාදුක්ක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නෙරංජි කුලරත්න, බෝපේ මහා විද්‍යාලයේ විදුහල්පති සරත් කුමාර, ජනාධිපති කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, මහජන සේවා නිලධාරී දුමින්ද වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු සහ ගුරු භවතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.