Published on: දෙසැම්බර් 5, 2024

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස ජනපති ගෙන් උපදෙස්

ගිවිසුම්ගත ව්‍යාපෘති නැවත සමාලෝචනය කර ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධිත ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ විශේෂ අවධානය යොමු වූ අතර සූර්ය පැනල ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. මේ වන විට ගිවිසුම්ගත ව්‍යාපෘති සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන ලෙසත් ඒ අනුව ඵලදායී ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දුන්නේය. එසේම ගිවිසුම්ගත වුවද අකාර්යක්ෂම ව්‍යාපෘති ඇත්නම් ඊට අදාළ නිසි පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

බලශක්ති අමාත්‍ය විදුලි ඉංජිනේරු කුමාර ජයකොඩි, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය ටි. එම්.ඩබ්ලිව්. ජේ. බණ්ඩාර, ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සභාපති ඉංජිනේරු ජනක අලුත්ගේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.