හෙවනකුඹුර, බද්දේගම, පොළොන්නරුව සහ වෑකන්දවෙල ප්‍රදේශයන්හි පාසල් හතරක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (30) පැමිණියහ.
ඒ අනුව හෙවනකුඹුර ශ්‍රී පුඤ්ඤසාර මහා විද්‍යාලය, බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, පොළොන්නරුව බකමූණ මහසෙන් ජාතික පාසල සහ වෑකන්දවෙල මොරයාය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා එක්ව සිටියහ.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සමඟ එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව එම විදුහල්වලට මෙම අවස්ථාව හිමිව තිබේ.
ජනාධිපති කාර්යාලයීය පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ සිසුන් දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධවද එම විද්‍යාලයන්හි ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුම්වත් කිරීමද මෙහිදී සිදු විය.
මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධව සහ සාරධර්ම වැඩිදියුණු කර ගැනීම පිළිබඳ දේශනයක් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් අදාළ විදුහල්වල පුස්තකාල සඳහා පොත් ලබාදීම, ක්‍රීඩා උපකරණ ලබා දීම සහ පරිසර සතිය ආරම්භ කරමින් පාසල් වෙත වටිනා පැළ බෙදා දීම ද සිදු කෙරිණි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එම්. එන්. කුමාරසිංහ, ජනාධිපති උපදේශක (නීති) අධිනීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, සහකාර අධ්‍යක්ෂ නදීක දංගොල්ල යන මහත්වරු සහ අදාළ විදුහල්වල විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.