අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ලබන සඳුදා (26) පැවැත්වීමට නියමිතය.
අභාවප්‍රාප්ත වූ ලාංකීය සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සදහා පහසුකම් සැලසීම පිළිබඳ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය හෙට (25) දිනයේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී හා අනිද්දා දින (26) නිදහස් චතුරස්‍ර මන්දිරයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිතය. ඒ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වන සඳුදා පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සිදු කෙරෙනු ඇත.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සහ අවමංගල්‍යය අවස්ථාව වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර යන මහත්වරු සහ කලාකරුවන් හා මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.