Published on: සැප්තැම්බර් 26, 2024

පසුගිය රජයයන් භාවිත කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

  • වාහන අවභාවිතය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක්

පසුගිය රජයයන් විසින් භාවිත කළ අතිසුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන්වලට පමණක් යොදා ගන්නා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා පැවසීය.

එසේම ජනතාවගේ බදු මුදල් මෙලෙස නාස්ති කිරීම කණගාටුවට කරුණක් බවත්, මේ සම්බන්ධව පූර්ණ සමාලෝචනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කර සිටියේ ගාලුමුවදොර භූමිය ඇතුළු ස්ථාන කිහිපයක නවතා ඇති වාහන සම්බන්ධව ගනු ලැබූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (26) එම පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

පසුගිය ආණ්ඩු විසින් රට පාලනය කිරීමේදී මහජන මුදල් නාස්තියේ ප්‍රමාණය මේ ස්ථානයේ මෙසේ ප්‍රදර්ශනය කරන බවත්, ජනාධිපති මන්දිරය සතුව පවතින වාහන නැවතුම් ස්ථාන එම වාහන ගාල් කිරීමට ප්‍රමාණවත් නොමැති බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ගාලුමුවදොර පරිශ්‍රය ඇතුළු තවත් ස්ථාන කිහිපයකම වාහන 107 ක් ගාල් කර ඇති අතර, මේවා විවිධ අවස්ථාවලදී පසුගිය ආණ්ඩු විසින් විවිධ තනතුරු ඇති කරමින් තම හිතවතුන්ට ලබාදී තිබූ ඒවා බව ද ඔහු අවධාරණය කළේය. මේ රටේ ජනතාවට එදිනෙදා ජීවත් වීමට අපහසු අවස්ථාවක පසුගිය වසර 76ක් පුරා පැවති ආණ්ඩු දිගින් දිගටම මහජන ධනය නාස්ති කර තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළේය.

එසේම සෞඛ්‍ය කේෂ්ත්‍රයට ප්‍රමාණවත් ගිලන් රථ නොමැති, රාජ්‍ය නිලධාරීන්ට සිය රාජකාරී සිදු කිරීමට ප්‍රමාණවත් වාහන නොමැති අවස්ථාවක රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් වාහන ගෙන්වා තම හිතවතුන්ට ලබාදී ඇති බව ද ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.

මහජනතාවගේ ධනය සුරක්ෂිත කිරීම වගකීමක් වන බවත්, අනිසි ලෙස භාවිත කළ වාහන සම්බන්ධව පූර්ණ සමාලෝචනයක් සිදුකිරීමට පියවර ගන්නා බවත් පැවසූ ඒ මහතා, අදාළ වාහන ඉතා ඵලදායී ලෙස සහ ඉතා අත්‍යවශ්‍ය සේවාවන්වලට ලබාදීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

විවිධ ආයතනවලින් ලබාගත් වාහන 59ක් ජනාධිපති කාර්යාලය හරහා තම හිතවතුන්ට ලබාදී ඇති බවත්, වාහන ආනයනය කිරීම තහනම් කළ කාලසීමාව තුළ පමණක් ජනාධිපති කාර්යාලයට වාහන 16ක් ගෙන්වා ඇති බව අනාවරණය වී ඇති බවත් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සඳහන් කළේය.

තවද ජනාධිපති කාර්යාලය සතුව පවතින වාහන 833ක් අතරින් වාහන 29ක් අතුරුදන්ව ඇති බවද සඳහන් කළ ඒ මහතා, මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදුන් බවද වැඩිදුරටත් පැවසීය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.