Published on: අප්‍රේල් 7, 2025

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක් අවශ්‍යයි

– විශේෂ කාර්ය බලකායේ 82 වන කණ්ඩායමේ විසිර යාමේ උලෙළට එක් වෙමින් ජනපති කියයි

නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් එය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කළුතර කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කඳවුරේ අද (07) පැවති 82 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූවන්ගේ විසිර යාමේ උත්සවයට එක් වෙමිනි.

තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද, ගෞරව කරනවාද යන්න කෙනෙකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බවත්, එම වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය වෙනස ඇති කිරීමට දායක වන ලෙසත් ජනාධිපතිවරයා ආධුනික පොලිස් නිලධාරීන්ට ඇරයුම් කළේය.

බොහෝ ක්ෂේත්‍ර බිඳවැටුණු මොහොතක රට පරිවර්තනීය යුගයකට ගෙන යාමට පුරවැසියා දේශපාලන අධිකාරිය වෙනස් කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලන අධිකාරිය පර්වර්තනය කළ පමණින් රටක් සාර්ථක නොවන බවත් සියලු ක්ෂේත්‍රවලම සුබවාදී පරිවර්තනයක අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.

මහජන අපේක්ෂාවේ භාරය, නවක පොලිස් නිලධාරින්ට පැවරෙන බවද එය ආරක්ෂා කරමින් සංවිධානාත්මක අපරාධවලට, මත්ද්‍රව්‍යවලට මේ රට ගොදුරක් වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

තරුණ පරම්පරාව මාතෘ භූමියේ වගකීම සිය දෙවුර මත දරා තමාගේ අනාගතයත් රටේ අනාගතයක් සුබවාදී දිශානතියකට ගෙන යෑමට උත්සුක විය යුතු බවද, මෙලෙස, අද දින ශ්‍රී ලංකා පොලිස් නිත්‍ය සේවයට එක්වීම ශක්තිමත් පියවරක් ලෙස සියල්ලෝම සිහි තබා ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

හදිසි ආපදා තත්ත්වයක් යටතේ පුරවැසියන් වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය සිදු කර තිබෙන සේවය ඉතා ප්‍රශංසනීය බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මූලික පුහුණුව සාර්ථකව නිම කරන ලද ආධුනික උප පොලිස් පරීක්ෂකවරු 118ක් ආධුනික පොලිස් කොස්තාපල් 231ක් මෙම පෙළපාලියේදී විසිර ගියහ.

පුහුණු පාඨමාලාවේදි විශේෂ දක්ෂතා දක්වන ලද නිලධාරීන්ට සහතිකපත්‍ර සහ සම්මාන පිරිනැමීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණි.

විසිර යාමේ උලෙළට එක් වූ ජනාධිපති අනුර කුමර දිසානායක මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

විශේෂ බලකායේ නිලධාරීන් විසින් සංග්‍රාමික භූමියේ සිදු කරන මෙහෙයුම් සංදර්ශනයක්ද ඉදිරිපත් කෙරිණි.

“නියතයි ජය ” යන්න සිය තේමා පාඨය කර ගනිමින් 1983 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ ප්‍රභූ ආරක්ෂාව, අපරාධ, සංවිධානාත්මක අපරාධ මැඬලීම සහ මතින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට යොදවා සිටින කීර්තිමත් ඒකකයකි.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා යන මහත්වරුද, පොලිස් නිලධාරීහුද, විසිර යන පොලිස් නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.