Published on: මැයි 16, 2025

නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත් වන්න

– ජනපති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට කියයි

මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

2024 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීමේදී නිෂ්පාදන ආර්ථිකයට අදාළ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම සිදු වූ අතර දිස්ත්‍රික් මට්ටමින් වෙන් කරන ලද එම ප්‍රතිපාදන නිදහස් කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතාව පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

පසුගිය වසර කිහිපය තුළ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය නොවීම හේතුවෙන් ග්‍රාමීය ජනතාව ගැටලු රැසකට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි අයුරින් නියමිත කාල රාමුව තුළ වැය කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.

එමෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වීමේදී ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින සංවර්ධන අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් අදාළ විෂය භාර අමාත්‍යවරුද ඊට සම්බන්ධ කර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරු වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සහ නියෝජිතයන්ද, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.