මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න
– ජනපති
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
නාගරික සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති, නාගරික සංවර්ධන ව්‍යාපෘති, නගර සැලසුම් ව්‍යාපෘති, කසළ කළමනාකරණ සහ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති, ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙම අංශවලට අදාළව දිවයිනේ සෑම පළාතකම ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය විමසා බැලිණි.
විශේෂයෙන්, පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමඟ නතර වූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමේදී සහ ආරම්භ කළ ව්‍යාපෘති පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර, මේ වසරේදී ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. රජය නිසි පරිදි අදාළ අමාත්‍යාංශ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර තිබියෙදී ඒවා නිශ්චිත කාලයක් තුළ නිසි පරිදි උපයෝජනය නොවන්නේ නම් එය ගැටලුවක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්වලදී මෙන්ම, නාගරික සැලසුම්කරණයේදීද අදාළ ප්‍රදේශයේ ජනතා අදහස් සහ වුවමනාවලට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය ආණ්ඩු තම හිතුමතේ සිදු කර ඇති ඉදිකිරීම් නිසා මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල භාවිතයට නොගන්නා සහ ඌණ-උපයෝජනයක් සහිත රජයේ ගොඩනැගිලි ඉදි වී ඇති බව පැවසීය.
පසුගිය කාලයේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කළ පාලම් ව්‍යාපෘති 18ක් අතරමඟ අතහැර දමා තිබෙන බවත්, එම ඉදිකිරීම් නිසා තාවකාලිකව භාවිතා කරන මාර්ග මේ වන විට මඩවගුරු බවට පත්වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් පීඩාවට පත්ව ඇති බවත් මෙහිදී අනාවරණය විය. එම ව්‍යාපෘතිවලට අදාළ ඉදිකිරීම් අවසන් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා අවම වශයෙන් අත්‍යවශ්‍ය පාලම් 05ක ඉදිකිරීම් මේ වසරේ අවසන් කිරීමට කටයුතු කරන ලෙසට උපදෙස් දුන්නේය.
විශේෂයෙන්, චීන සහ ඉන්දියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර නැවත පදිංචිකිරිම්වලට අදාළ නිවාස ව්‍යාපෘති මේ වසරේ අවසන් කිරීමට හැකි බවට නිලධාරීහු මෙහිදී අපේක්ෂා පළ කළහ.
මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින “හෝමාගම ටෙක් සිටි” ව්‍යාපෘතියට අදාළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සහ “පොළොන්නරුව පරිපාලන සංකීර්ණයේ” ඉදිකිරීම් කටයුතු සහ “සිටි බ්‍රෑන්ඩින්ග් ව්‍යාපෘතියේ” වත්මන් තත්ත්වය පිළිබඳවද මෙහිදී විමසා බැලිණි.
දැනට නාගරික ජනතාව වෙත ලබා දී ඇති මහල් නිවාස ඔවුන් වෙත පවරා දීමේදී මතු වී ඇති ගැටලු පිළිබඳවද සාකච්ඡා කෙරණු අතර, අබලන් නිවාස ඔවුන් වෙත පවරා දීම වෙනුවට, ඒවා ප්‍රතිසංස්කරණය කර ලබා දීමේ වැදගත්කමත්, එසේ ලබා දුන් පසු ඒවා නඩත්තු කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම, අර්ධ නාගරික ප්‍රදේශවල මහල් නිවාස ව්‍යාපෘති සඳහා එම ප්‍රදේශවල ජනතාවගේ ඇති ඉල්ලුම සහ කැමැත්ත පිළිබඳ සොයා බැලීම සඳහා සමීක්ෂණයක් සිදු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
ඉඩම් අත්පත් කරගැනීම්වලට අදාළ ගෙවීම් කටයුතුවලදී මතුව ඇති නීතිමය ගැටලු පිළිබඳව මෙහිදී නිලධාරින් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලද අතර එම ගැටලුවලට ලබා දිය හැකි විසදුම් පිළිබඳ යෝජනා සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.
රජයේ නිවාස ව්‍යාපෘතිවලින් දැනට ප්රතිලාභ නොලබන, එහෙත්, ප්රතිලාභ ලැබිය යුතු ජනතාව වෙනුවෙන් රජයේ මැදිහත්වීම සහිත ක්‍රමවේදයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඒ පිළිබඳ බැංකු සමඟ සාකච්ඡා කර රජයේ දායකත්වයද සහිත ක්‍රමවේදයක් සකස් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
කසළ කළමනාකරණ සහ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, වේරැස් ගඟ ව්‍යාපෘතිය, කොළොන්නාව වැසි ජල ව්‍යාපෘතිය ඇතුළු ගංවතුර සහ ආපදා තත්ත්ව වැළැක්වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය විමසා බැලිණි.
මෙහිදී නිලධාරීන් සඳහන් කළේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ සහාය ඇතිව එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක වන බවයි. ගංවතුර ඇතුළු හදිසි අවස්ථාවලට මුහුණ දීමේ පූර්ව සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති යටතේ යාපනය, මහකොළඹ, මහනුවර, අනුරාධපුරය සහ කළුතර ආදී ප්‍රදේශවල ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡා විය.
පසුගිය රජයන් යටතේ ජල සැපයුම් ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් ගෙන්වා, විවිධ ප්‍රදේශවල අතහැර දමා තිබෙන ජල නළ උපයෝගී කර ගනිමින් ග්‍රාමීය ප්‍රදේශවල ජල සැපයුම් විධිමත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය යටතේ ඇති ආයතන යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවත්, විශේෂයෙන්, රජයේ මැදිහත්වීම සහිත ඉදිකිරීම් සඳහා උපදේශන සේවාවක් ඇති කිරීමේ අවශ්‍යතාවත් සාකච්ඡාවට බඳුන් කෙරිණි.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුද, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.