Published on: අගෝස්තු 22, 2025

නව දූත මණ්ඩල ප්‍රධානීන් 07 දෙනෙක් ජනපති හමුවෙති

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයකු සතු වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් 07 දෙනෙකු සමඟ අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

නව පත්වීම් ලැබූ දූත මණ්ඩල ප්‍රධානීන් වෙත සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සේවා සැපයීමේදී කිසිදු බේදයකින් තොරව සාධාරණව කටයුතු කරන ලෙසත්, ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ඒවාට කඩිනමින් මැදිහත් වන ලෙසත් උපදෙස් ලබා දුන්නේය.

එසේම ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට ගමන් කරමින් සිටින බැවින් රටේ වත්මන් අවශ්‍යතා සහ අභියෝග වටහා ගෙන කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

විශේෂයෙන් විදේශ ආදායම් ඉපයීමේදී ආයෝජන, අපනයන, සංචාරක සහ රැකියා යන ක්ෂේත්‍ර 4 තුළ තානාපති කාර්යාලවලට විශේෂ වගකීමක් පැවරී තිබෙන බවත් ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආර්ථිකයේ බාහිර ස්ථායිතාව ඇති කිරීමේදී තීරණාත්මක සාධකයක් වන විදේශ විනිමය මාර්ග සියල්ලම තානාපති කාර්යාල සමඟ බැඳී පවතින බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එමෙන්ම විදෙස් රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ වරණීය වෙළෙඳ සැකසුම්වලට එළඹීම කාලීන අවශ්‍යතාවක් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද නව රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙසේය.

01. ඉන්දුනීසියාවේ තානාපති- එස්.එස්.ප්‍රේමවර්ධන මහත්මිය
02. බ්‍රසීලයේ තානාපති- සී.ඒ.සී.අයි.කොලොන්න මහත්මිය
03. මාලදිවයිනේ මහකොමසාරිස්- එම්.ආර්.හසන් මහතා
04. තුර්කියේ තානාපති- එල්.ආර්.එම්.එන්.පී.ජී.පී.බී.කදුරුගමුව මහතා
05. නේපාලයේ තානාපති – රුවන්ති දෙල්පිටිය මහත්මිය
06. දකුණු කොරියාවේ තානාපති- එම්.කේ.පත්මනාදන් මහතා
07. ඕමානයේ තානාපති- ඩබ්ලිව්.ඒ.කේ.එස්.ද අල්විස් මහතා

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.