Published on: අගෝස්තු 23, 2025

ත්‍රිකුණාමලය රතනජෝති විද්‍යායතන පිරිවෙන් හිමිවරු, නාකියාදෙණිය ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලය නරඹති

ත්‍රිකුණාමලය රතනජෝති විද්‍යාතන පිරිවෙන් හිමිවරුන්ට, නාකියාදෙණිය ශ්‍රී ගුණානන්ද කනිෂ්ඨ විද්‍යාලයේ සහ නිට්ටඹුව රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුදැරියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට ඊයේ (22) අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ජනාධිපති උපදේශක (නීති) නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා විසින් නීතියේ ආධිපත්‍යය මෙන්ම ආකල්ප සංවර්ධනය, පාසල් අධ්‍යාපනය තුළින් ලබාගත හැකි ජයග්‍රහණ සම්බන්ධවද මෙහිදී පාසල් සිසුන් වෙනුවෙන් හරවත් දේශනයක් සිදුකරනු ලැබීය.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම සංකේතවත් කරමින් තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි.

ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල මහතා සහ එම විද්‍යාලවල විදුහල්පතිවරු, ගුරු මහත්ම මහත්මීන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.