Published on: මාර්තු 21, 2023

තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවෙයි

  • IMF එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා- ජනපති පවසයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කිරීමේ හැකියාව මෙතැන් සිට ශ්‍රී ලංකාවට හිමි වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුමත වීම සම්බන්ධයෙන් අද (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ඉදිරියේදී මෙරට විදේශ විනිමය තත්ත්වය දියුණු වීමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය භාණ්ඩවල ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.‍

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් සහාය දැක්වූ සියලු රටවලටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙතැන් සිට ඇති කරගත් එකඟතාව අනුව ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට අදාළ එකඟතා ගිවිසුම හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් පැවසීය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.