Published on: ජූලි 31, 2025

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029හි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට පත් කරන ලද ජාතික මෙහෙයුම් කමිටුවේ සහ ඊට අදාළ වගකීම් පැවරී ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පස්වරුවේ පැවැත්විණි.

‘සුපිළිපන් දේශයක් කරා’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව පසුගිය අප්‍රේල් මස 09 වන දින ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ එළිදක්වන ලද අතර, 2025 වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත් ක්‍රියාකාරකම්වලට අදාළව වගකීම් පැවරී ඇති සියලු ආයතනවල ප්‍රධානීන්, තමන් වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතු බවත්, ජාතික මෙහෙයුම් කමිටුව එම ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රගතිය වරින්වර සමාලෝචනය කළ යුතු බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම ජාතික මෙහෙයුම් කමිටුව රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත වන අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කමිටුවේ සභාපති ලෙසද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්
රංග දිසානායක මහතා කමිටුවේ උප සභාපති සහ කැඳවුම්කරු ලෙසද කටයුතු කරයි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.