Published on: ජනවාරි 7, 2025

ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය

JICA ජ්‍යෙෂ්ඨ උප සභාපති

ශ්‍රී ලංකාවේ “Clean Sri Lanka” වැඩසටහන සඳහා සහාය ලබා දෙන බවට
JICA පොරොන්දු වෙයි

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණි.

ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජයිකා ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන් විය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට ජයිකා සංවිධානය බලාපොරොත්තු වන බව හාරා ෂෝහෙයි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන “Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ උප සභාපතිවරයා එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව
පැවසීය.

මෙරට ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ නගර පවිත්‍රකරණ කටයුතු සඳහා ජයිකා සංවිධානය මගින් ලබාගත හැකි මූල්‍ය සහ භෞතික සහාය පිළිබඳව ද මෙම හමුවේ දී සාකච්ඡා කෙරිණි.

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ, ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් කෙන්ජි ඔහාෂි, ජයිකා සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියොජිත ටෙට්සුයා යමඩා, ජ්‍යෙෂ්ඨ නියෝජිත යූරි ඉඩේ යන මහත්වරු ඇතුළු ජපාන නියෝජිත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.