එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා අතර හමුවක් ඊයේ (12) පැවැත්විණි.
මේ හමුව සඳහා ඩුබායිහි ඔටුන්න හිමි කුමරු වන, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සහ ඩුබායිහි පළමු නියෝජ්‍ය පාලක, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටූම් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් යන මහත්වරුද එක්ව සිටියහ.
ගෝලීය මට්ටමින් රාජ්‍ය සම්බන්ධීකරණ කටයුතු ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ ආර්ථික හා සංවර්ධන අභියෝග සඳහා නව්‍ය විසඳුම් සකස් කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සහ ගෝලීය වශයෙන් පාලනයේ සහ ප්‍රධාන උපායමාර්ගික අංශවල ප්‍රමුඛයන් සමඟ විශේෂඥතාව හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහය සහ කැපවීම ෂෙයික් මොහොමඩ් මහතාගේ ඇගයීමට ලක් විය. පසුගිය වසර කිහිපය තුළ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයන් විසින් ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ශක්තිමත් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ලබා දෙන බවට ද ඒ මහතා මෙහිදී සහතික විය.
ශ්‍රී ලංකාවේ වැදගත් ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා සහාය ලබා දීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රතිඵලයක් වශයෙන් ආයෝජන, වෙළඳාම සහ සංචාරක ක්ෂේත්‍රයන් මේ වන විට සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියත් අත්පත් කරගෙන ඇති බව ද විශේෂයෙන් සඳහන් කළේය.
තවද අර්ථවත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරිම, ගෝලීය පාලන පිළිවෙත් ඉදිරියට ගෙන යාම සහ අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙන්ම නව අවස්ථා ගවේෂණය කිරීම සඳහා අවශ්‍ය තීක්ෂණ බුද්ධියෙන් රාජ්‍ය නායකයන් සන්නද්ධ කිරීම සඳහා ලෝක රාජ්‍ය සමුළුව විසින් සිදු කරනු ලබන මහඟු කාර්යභාරයද ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.