Published on: දෙසැම්බර් 5, 2024

ජනපති සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්

සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි – ජනපති
සුරාබදු බලපත්‍ර ලබාදීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.
නිලධාරීන් තම බලය භාවිතා කරමින් නීතියට පටහැනිව කටයුතු නොකළ යුතු බවත්, සෑම විටම නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා  නිසි වේලාවට බදු අය කර ගැනීමට පියවර ගන්නා ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.
සුරාබදු අය කර ගැනීමේ අපහසුතා සහ එහිදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු අතර  අයවිය යුතු බදු ප්‍රමාණය අය කර ගැනීම, අසාදුගත ආයතන  මෙන්ම බදු අය කර ගත නොහැකි ආයතනවල  බලපත්‍ර තහනම් කිරිම වැනි නව ක්‍රමවේද පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
එසේම බදු අය කර ගැනීමේ දී පවතින නීති රීති ප්‍රමාණවත් නොවීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර බදු අය කර ගැනීමේදී මතුව ඇති ගැටලු සහ සුරාබදු නිලධාරීන් බදවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරිණි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනතාව තුළ යහපත් ආකල්පයක් නොමැති බව  මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ ආර්ථිකයට  හිතකර ලෙස එම ආයතන පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.
එසේම නිෂ්පාදන සහ ඇසුරුම් ක්‍රියාවලියෙහි මතුව ඇති ගැටලු පිළිබඳව නිලධාරීන් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර කෘත්‍රීම රා හේතුවෙන් ජනතාවට සිදු වන හානිය සම්බන්ධව ද අවධානය යොමු කෙරිණි.
සුරාබදු කොමසාරිස් රෝහණ සේනාරත්න,  නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ආර්. වී. එස්. තිස්ස කුමාර, සහකාර සුරාබදු කොමසාරිස් එම්. ජේ. ද සිල්වා, ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී. ඒ. චාන්දනී, ප්‍රධාන ගණකාධිකාරී ඩබ්. ආර්. පරණගම යන මහත්ම මහත්මීන් ඇතුළු සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.