President Meets with Senior Officials of SriLankan Airlines
Published on: අප්‍රේල් 8, 2025

ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කළමනාකරණය සඳහා ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් පිළිබඳවද අවධානය යොමු විය.

නව ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී ආයතනයක් බවට පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ලාභ ලැබුවද , වැරදි කළමනාකරණ තීරණ හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් අතර ඉහළින්ම ඇති ආයතනයකි. එම ආයතනය පෞද්ගලීකරණය කිරීමට පසුගිය ආණ්ඩුව විසින් ගන්නා ලද තීන්දුව වෙනස් කරමින් වත්මන් රජය එය තවදුරටත් ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාමටත්, නව කළමනාකරණයක් යටතේ ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කර ඉදිරියට පවත්වාගෙන යාමටත් තීරණය කර තිබේ.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරුද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උසස් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.