Published on: මාර්තු 28, 2025

ජනපති සහ ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශවල නිලධාරීන් අතර සාකච්ඡාවක්

  • නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පැවැත්විණි.

නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජාතික ආර්ථිකයට එක් කර ගැනිම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා ලබාදිය හැකි කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ඇතුළත් යෝජනා පිළිබඳවද සාකච්ඡා විය.

කොළඹ නගරයේ මාර්ග තදබදය අඩු කිරීම සඳහා දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සහ බස්‍ රථ හා මාර්ගස්ථ සේවා ප්‍රමිතිගතකරණය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් ආරම්භ කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.

එමෙන්ම කොළඹ, නුවර, කුරුණෑගල, මොරටුව යන නගර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා නොදෙන ඉඩම් හඳුනාගැනීම සහ එම ඉඩම් නිසි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.‍

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.