Published on: ඔක්තෝබර් 12, 2024

ජනපති සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා පවර් මහත්මිය අදහස් හුවමාරු කර ගත් අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ අවස්ථා පිළිබඳවද සාකච්ඡා කළහ.

රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර පවතින සමානතාව ද මෙහිදී පෙන්වා දුන් සමන්තා පවර් මහත්මිය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට මෙන්ම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉහළ නැංවීමටත් එම කටයුතු ඉවහල් වනු ඇති බව ද සමන්තා පවර් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.