Published on: සැප්තැම්බර් 1, 2025

ජනපති අද යාපනයේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.

යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වන අදියර අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී මූලික සහ අත්‍යාවශ්‍ය පහසුකම්, ශිතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර ඇත.

ධීවර වරායේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවෙන් පසුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවකටද ජනාධිපතිවරයා එක් වනු ඇත.

මේ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනු ඇත.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය. උතුරු පළාතෙන් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත්‍ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින හෙයින්, වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ.

මේ අතර, යාපනය පුස්තකාලයේ ඊ-පුස්තකාල (E Library) වැඩසටහනද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, මේ සමඟ ලොව ඕනෑම ස්ථානයක සිටින පුද්ගලයකුට යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට අවස්ථාව උදා වෙයි.

යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්‍ද අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, ඉන් අනතුරුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවක් සඳහාද ජනාධිපතිවරයා එක්වනු ඇත.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.