Published on: නොවැම්බර් 22, 2024

ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතුයි

ජනපති මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගනිමින් පවසයි

පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත්
ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද (22) එම ආමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමෙන් අනතුරුව එහි කාර්යමණ්ඩලය අමතමිනි.

අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ රට මුදා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ලබා දුන් දායකත්වය මෙහිදී කෘතවේදීව අගය කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට ඇති ජයග්‍රහණ කරා යාමේ දී සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ දේශපාලන වෙනස්වීම්වලදී රාජ්‍ය නිලධාරීන් පිළිබඳ පූර්ව චිත්‍රණයක සිට කටයුතු කළ ඉතිහාසයක් අපේ රටේ තිබෙන නමුත් අද සිට රාජ්‍ය නිලධාරින්ගේ හොඳ නරක මනින නිර්ණායකය බවට පත් වන්නේ ඔවුන් ලබාදෙන දායකත්වය බවයි. රාජකාරී ඉටු කිරීමේ දී රාජ්‍ය නිලධාරින්ට කොතැනක හෝ යම් අසාධාරණයක් හෝ අකටයුත්තක් සිදු වන්නේ නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආදායම් උපයන දෙපාර්තමේන්තු පිළිබඳ ජනතාව තුළ ඇත්තේ යහපත් චිත්‍රයක් නොවන අතර එය වෙනස් කිරීමට අසීරු වුවද තමන් පිළිබඳ යම් අයහපත් චිත්‍රයක් තිබේ නම් එය වෙනස් කර ගැනීමට සියලු නිලධාරින්ට නව රජය යටතේ අවස්ථාව ලැබී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මාධ්‍ය ඉදිරියේ නිලධාරින්ට තර්ජනය කිරීම, ඔවුන්ගේ අදහස් නොතකා හැරීම වැනි න්‍යායන් තම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, ස්වයං විනයක් සහ ස්වයං වගවීමක් නිර්මාණය කර ගැනීම නව පරිවර්තනයේ ප්‍රවේශය බවත් සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් එක්වන ලෙස ද මෙහිදී සියලු රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.