Published on: ජූලි 31, 2025

ජනතාව අපේක්ෂා කළ සමෘද්ධිමත් රට ගොඩනැඟීමේ වගකීම ඉටු කරනවා

ජනපති මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් පවසයි

සියලු ශ්‍රී ලාංකික ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය ඒ අයුරින්ම සුරකිමින්, ඔවුන් අපේක්ෂා කළ සමෘද්ධිමත් රට ගොඩනැඟීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ මාලදිවයින් ජාතික විශ්වවිද්‍යාලයීය (MNU) ශ්‍රවණාගාරයේදී මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට එක් වෙමිනි.

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම හමුවට එරට වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තිකයන්, විද්‍යාර්ථීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් එක්ව සිටියහ.

පසුගිය ජනාධිපතිවණයේදී ලැබූ ජනවරමේ ප්‍රමුඛ අපේක්ෂා වූ නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සහ ආර්ථිකය නඟාසිටුවීමට රජය ප්‍රමුඛත්වය දී ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දූෂිත දේශපාලන ක්‍රමය වෙනුවට, නව දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කර ඇති බවත්, එක තැන නතර වී තිබූ ආර්ථිකයට නැවත පණ පෙවීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බවත් සඳහන් කළේය. එසේම මේ වන විට සෑමදෙනාටම එක හා සමානව ක්‍රියාත්මක වන නීතියක් රට තුළ සක්‍රීය කර තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

වත්මන් පරම්පරාව අත්විඳින දුෂ්කරතා මතු පරපුරට උරුම නොකර, ඔවුන්ට වඩා යහපත් රටක් ගොඩනඟා දෙමින් බලාපොරොත්තු සහ අපේක්ෂාවන් සහිත අනාගත පරපුරක් නිර්මාණය කිරීමට එක්ව වැඩකරමු’යි මෙහිදී සියලුදෙනාට ඇරියුම් කළ ජනාධිපතිවරයා, පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජාතික ජන බලවේග ආණ්ඩුවේ ජයග්‍රහණයට කැප වූ මාලදිවයිනේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ට ස්තූතිය පළ කිරීමටද කටයුතු කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මුහුණ දී ඇති ගැටලුවලට අදාළව ඉදිරිපත් කළ ප්‍රශ්නවලටද ජනාධිපතිවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නේය.

මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලංකාව ප්‍රජාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

අපි පසුගිය ජනාධිපතිවරණයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හමු වුණා. ජනාධිපතිවරයා ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ආමන්ත්‍රණය කරන පළමු රට බවට පත් වුණේ මාලදිවයින. මම හිතනවා මෙහි සිටින බොහෝදෙනාට අපේ රට ඉතා දියුණු රටක් බවට පත් කිරීමට සහ රටේ ජනතාවට වඩා උසස් ජිවන තත්ත්වයක් ලබා දීමට අවශ්‍ය වුණා.

අප එකිනෙකාට අපේ රට පිළිබඳ වෙන වෙනම ඇගයීම් පැවතීම ප්‍රමාණවත් වන්නේ නැහැ. එය යථාර්ථයක් කර ගැනීමට දේශපාලන බලය අත්පත් කර ගත යුතුව තිබුණා. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී අපේ රට යහපත් ලෙස පරිවර්තනය කිරිම සඳහා අවශ්‍ය වන දේශපාලන වෙනස, දේශපාලනය බලය ඔබ සියලුදෙනාගේ සහායෙන් අප වෙත ලැබුණා. එදා මා ඔබ ඉදිරියේ ප්‍රකාශ කළ අයුරින්ම, ඔබ අප කෙරෙහි තැබු විශ්වාසය බිඳකින්වත් කඩ විමට අප ඉඩ තබන්නේ නැහැ. අලුත් දේශපාලන වෙනසක් සඳහා ජනතාව අපව තෝරා ගත්තේ ඇයි?

එදා අපේ රට ධනය සහ බලය තිබෙන අයට එක නීතියක්, දුප්පත් දුබල අයට එක නිතියක් ක්‍රියාත්මක වූ රටක් බවට පත් වුණා. ඒ නිසා නීතියේ විධානයේ ආධිපත්‍යය යළි රට තුළ තහවුරු කිරීමේ වුවමනාව ජනතාවට තිබුණා. ඒ වගේම, දේශපාලන අධිකාරිය පුරවැසියන් සමඟ කටයුතු කරනවා වෙනුවට පුරවැසියන්ට උඩින් අධිකාරි බලයක් භුක්ති විඳින වරප්‍රසාද ලත් තනතුරු සහිත සහ කැත පන්නයේ දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තිබුණා. ඒ නිසා මෙම කැත පන්නයේ දේශපාලන සංස්කෘතිය අවසන් කර තමන්ට සමීප නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමේ වුවමනාව ජනතාවට තිබුණා. ඒ වගේම, අපේ මුළු රාජ්‍ය දේහය පුරාම පැතිරී තිබු වංචා, දූෂණ, අල්ලස, නාස්තිය තුරන් කිරිම සඳහා වුවමනාවක් තිබුණා.

ඒ වගේම, දිගු කාලයක් අපේ රාජ්‍ය විසින් අනුගමනය කරන ලද, ඉතාමත් අසාර්ථක සහ වැරදි ආර්ථික පිළිවෙත් හේතු කොට ගෙන අපේ රට විශාල වශයෙන් ආර්ථික බංකොලොත්භාවයට පත් ව තිබුණු අතර, ආර්ථිකය යළි නගාසිටුවීමේ බලාපොරොත්තුව මේ රටේ ජනතාවට තිබුණා. මේ ආදී ක්ෂේත්‍ර ගණනාවක නව පරිවර්තනයක් කෙරෙහි බලාපොරොත්තුවෙන් ජනතාව අපට බලය දුන්නා. මේ රටේ ජනතාව ලෝක ඉතිහාසයේ ඉතාමත් ගැඹුරුම දේශපාලන පිම්මක් සනිටුහන් කරමින් දේශපාලනයේ ඉහළ ස්ථානයකට අපව ඔසවා තැබුවා. ඉන් පෙර මැතිවරණයේදී 3%ක් ලැබූ දේශපාලන ව්‍යාපාරයක්, ඊට පසුව පැමිණි මහ මැතිවරණයේදී ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනිමින් සුවිශේෂී ජයග්‍රහණයක් ලැබුවා.

එහිදී මේ සෑම කෙනෙක්ම එම දේශපාලන පරිවර්තනයට දායකත්වය සැපයූවා. ඒ නිසා අද මම ජනාධිපතිවරයා වන්නේ, අපේ කැබිනට් මණ්ඩලය හැදෙන්නේ සහ පාර්ලිමේන්තුවේ විශාල බලයක් නිර්මාණය වෙන්නේ ඔබ ඇතුළු අපේ රටේ ජනතාව ලබා දුන් දායකත්වය නිසයි. මේ බලය ධනය විසින් නිර්මාණය කරන ලද්දක් නොවෙයි, මේ බලය අප සතුව තිබූ මාධ්‍ය බලයක් විසින් නිර්මාණය කරන ලද්දක් නොවෙයි, මේ බලය අප සතුව තිබූ බලයක් විසින් නිර්මාණය කළේ නැහැ. මේ බලය අපේ ඥාති පරපුර හෝ පවුල් පසුබිම මත නිර්මාණය වූයේ නැහැ. මේ සමස්ත බලය නිර්මාණය කළේ රටේ ජනතාව. ඒ නිසා ජනාධිපතිවරයා ලෙස, කැබිනට් මණ්ඩලය ලෙස, අපට අතහැරිය නොහැකි අනුල්ලංගනීය වගකීමක් තිබෙනවා. ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අපි ආරක්ෂා කරනවා.

මම දන්නවා එළියේ විශාල ඝෝෂාවක් තිබෙන බව. ඒ සියල්ල පරාජය, බලය පිළිබඳ අවිනිශ්චිතතා සහ ඇති වී තිබෙන දේශපාලන අසාර්ථකත්වයේ ප්‍රකාශ මිස යථාර්ථය නොවෙයි. යථාර්ථය වන්නේ සෙමින්, එහෙත් ස්ථාවරව අපි අපේ රට ගොඩනඟමින් සිටීමයි. අපේ රටත්, ජනතාවත් මුහුණ දී තිබෙන මෙම අභියෝගවලින් අපි අපේ රටත්, ජනතාවත් මුදා ගන්නවා.

අපේ රට තුළ ඉතාමත් ශක්තිමත් නීතියක් ක්‍රියාත්මක වනු දැකීම ඔබේ අපේක්ෂාවක් වුණා. එදා අපේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ කොහොමද? බලය විසින් නීතිය නවනු ලැබ තිබුණා. නීතිය පාගා දමා තිබුණා. තමන් නීතියට වඩා ඉහළින් සිටිය යුතුයි කියා මතයක් පාලකයන්ට තිබුණා. එහෙත් අපි අද සතුටින් කියනවා, තරාතිරම නොබලා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කර තිබෙනවා. අපිට කිසිවෙක්ගෙන් පෞද්ගලිකව පළිගැනීමේ වුවමනාවක් නැහැ. හැබැයි, අපිට සද්-වුවමනාවක් තිබෙනවා නීතියට පුරවැසියා යටත් විය යුතුයි කියලා. බලය, ධනය, තනතුරු තමන් නීතියට යටත්ද? නැද්ද? කියා තීරණය වන නිර්ණායකය නොවෙයි.

අපේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතුයි. ඒ වගේම නීතියට සෑමදෙනාම යටත්. නීතියට සෑමදෙනාම බිය විය යුතුයි. අපේ රටේ නීතියට බිය නැති යුගයක් තිබුණා. ක්‍රමානුකූලව පුරවැසියා නීතියට යටත් වන, නීතියට යම් බියක් දක් වන සමාජයක් බවට අපේ රට පරිවර්තනය කළ යුතුයි. වංචාවේ යෙදීමට, අල්ලසක් ගැනීමට බිය විය යුතුයි.එහෙත්, මහා ධනයක් එක් රැස් කර ගැනීම නීතියට ඉහළින් සිටීමේ මෙවලමක් බවට පත්ව තිබුණා. රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් මහා පරිමාණ ලෙස නාස්ති කළ යුගයක් නිර්මාණය වී තිබුණා. සෑමදෙනාම නීතිය ඉදිරියේ සමාන වන රාජ්‍යයක් අපි ගොඩනඟනවා. අල්ලස් ගන්න නෙවෙයි, අල්ලසක් ගන්න හිතන්නවත් බිය වන රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා.

ඔබ දන්නවා, බන්ධනාගාරයේ ප්‍රධානියා අත්අඩංගුවට පත්ව සිටිනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහ රේගුවේ නිලධාරීන් අත්අඩංගුවට පත්ව සිටිනවා. ඒ වගේම පොලිස්පතිවරයා අත්අඩංගුවේ සිටිනවා. පොලිසියේ හිටපු විශාල පිරිසකගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ වගේම හිටපු නාවික හමුදාපතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සියලුදෙනා නීතියට වඩා ඉහළින් සිටි අය සහ නීතිය තමන්ට අවශ්‍ය පරිදි හසුරවපු අය. අද අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා. ජනතාව අපට ලබා දුන් ජනවරමේ තිබූ ප්‍රධාන අපේක්ෂාවක් වන නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම වෙනුවෙන් අපි එය සිදු කරනවා.

අපේ රටේ දේශපාලන අධිකාරිය වෙළා ගෙන තිබූ වංචා – දූෂණ නැති කළ යුතුයි. මම ඔබට එක සහතිකයක් ලබා දෙනවා, මහජනතාවගේ මුදල් සතයක්වත් සොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් අපි පළමු වතාවට හදලා තිබෙනවා. මුළුමනින්ම දේශපාලන අධිකාරිය වෙළා ගෙන තිබු අල්ලස, දූෂණය, නාස්තිය අපි නතර කර තිබෙනවා. එහෙත් පුරුද්දට දුවන රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. මම දන්නවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු නොගෙවා සිටින පිරිස ඉන්නවා. ඉතාමත් ධනවත් අතිසුඛෝපභෝගී ජිවිත ගත කරමින් සිටින මහා පෞර්ෂයන් සහිත ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටින, රාජ්‍ය බැංකුවලට ගෙවීම් පැහැර හැරි අයගේ ලේඛනයක් අපි ළග තිබෙනවා.

වංචා, දූෂණ කරමින් තමන් විසින් රජයට ගෙවිය යුතු බදු පැහැර හැරීමේ ප්‍රවණතාවක් තිබුණා. හොඳ පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට උත්සුක වන බැංකු පද්ධතිය දේශපාලන රැකවරණ සහිත අයට ආරක්ෂාව ලබා දී තිබුණා. ඒ නිසා වංචාව දූෂණය නතර කිරීමේ උවමනාවක් අපේ රටේ ජනතාවට තිබුණා. දේශපාලන අධිකාරිය තුළ දැන් එය සිදු කර තිබෙනවා, ඉතිරි කොටසත් අපි කරනවා.

ඒ වගේම වංචා, දූෂණ සිදු කළ අයට දඬුවම් ලබා දීමට මේ රටේ ජනතාවට අවශ්‍යව තිබුණා. දූෂිතයන්ට දඬුවම් දීම පුද්ගලිකව ගතහොත් ජනාධිපතිවරයාගේ කාර්යභාරයක් නොවෙයි. දූෂිතයන්ට දඬුවම් ලබා දීමට නීති අවශ්‍යයි. අපිට ඉතාමත් ශක්තිමත් පනතක් තිබෙනවා පොදු දේපළ පනත. මහජනයාගේ ධනය රුපියල් 25,000ට වඩා වැඩියෙන් අවභාවිත කර තිබුණොත් ඇප නැහැ.

මුදල් විශුද්ධිකරණ පනත අනුව තමන් උපයාගත් ධනය, උපයාගත් ආකාරය පෙන්විය නොහැකි නම් එම ධනය යළි පවරාගත හැකියි. ඒ වගේම අයථා ලෙස උපයාගත් දේපළ පවරා ගැනීම සඳහා නීතියක් පසුගිය අප්‍රේල් 08 වනදා අපි පාර්ලිමේන්තුවේ සම්මත කළා.

ඒ නිසා අල්ලස, දූෂණය, මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වන නීති සම්පාදනය කර තිබෙනවා. ඒ වගේම ඒ සඳහා තිබෙන ආයතන අපි සක්‍රීය කළ යුතුයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට අවශ්‍ය නීති සම්පාදනය කර දී තිබෙනවා. ඊට අවශ්‍ය ආයතන සකස් කර දී තිබෙනවා, ඔවුන්ට කාර්යාල පවත්වාගෙන යාමට ගොඩනැගිලි ලබා දී තිබෙනවා. ඒ වගේම ඉතා ඉක්මනින් අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවේ නිලධාරීන් ඉහළ වැටුප් තලයක පිහිටුවීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා. මේ ආකාරයෙන් අපි අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුවේ අවශ්‍ය වෙනස්කම් සිදු කළා වගේම ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දී තිබෙනවා.

අපේ රටේ මේ කැත පන්නයේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජනතාවගේ ප්‍රධාන අරමුණක් වුණා. අපි අද එම සංස්කෘතිය වෙනස් කරමින් සිටිනවා. ජනාධිපතිවරයා ලෙස මට පැවරුන වගකීමක් තිබෙනවා. ඒ වගේම අමාත්‍ය මණ්ඩලය ලෙස, රාජ්‍ය නිලධාරින් ලෙස, තානාපතිවරුන් ලෙස මේ සියලුදෙනාට වගකීමක් පැවරී තිබෙනවා. අපි එම වගකීම් ඉටු කිරීමට බැඳී සිටිනවා. එදා දේශපාලන අධිකාරිය මේ සියල්ලට ඉහළින් සිටියා. අපේ රටේ ජනතාවද ඇතැම් විට එවැන්නක් අපේක්ෂා කළා. නමුත් අද අපි සියලුදෙනා පොර බදින්නේ අපිට පැවරී තිබෙන වගකීම් ඉටු කිරීමටයි. ඒ නිසා අපේ රටේ පැවති, මහජනයාට ඉහළින් සිටින දේශපාලන සංස්කෘතිය වෙනුවට මහජනයා සමඟ උරෙන් උර ගැටී මේ පරිවර්තනය සඳහා දේශපාලන අධිකාරියත්, රාජ්‍ය යාන්ත්‍රණයත්, මහජනයාත් ඒකාබද්ධ කරගත් නව දේශපාලන සංස්කෘතියකට අපි පියවර තබා තිබෙනවා.

ඒ වගේම ජනතාවගේ ප්‍රමුඛ අපේක්ෂාවක් වූයේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ආර්ථිකය ශක්තිමත් නැත්නම් නීතියේ විධානයේ ආධිපත්‍ය හෝ යහපත් සංස්කෘතියක් හෝ අපරාධවලින් අඩු රාජ්‍යයක් හෝ නිර්මාණය කිරීම අසීරුයි. ඒ නිසා අප හමුවේ තිබු ප්‍රබලතම අභියෝගය වූයේ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමයි. අපි මීට වසර දෙක තුනකට පෙර බංකොලොත්භාවයට පත් වූ රටක්. ලංකා ඉතිහාසයේ තවත් වසර සියයකට පසුව වුවද, ආර්ථික ඉතිහාසය ගැන ලියනවා නම් 2022- 2023 ඒ වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක් ලියැවෙනවා. එය කිසිදිනක මෙරට ආර්ථික ඉතිහාසයෙන් මැකිය නොහැකි දෙයක්.

අපේ රට බංකොලොත් රටක් බවට පත්වීමත් සමග මෙරට මූල්‍ය පද්ධතිය කෙරෙහි තිබු විශ්වාසය බිඳ වැටීමට පටන් ගත්තා. බංකොලොත්භාවයේ ප්‍රතිඵල හේතු කොට ගෙන ලංකාවට ආයෝජන එන්නේ නැතිව ගියා. ඒ වගේම ක්‍රියාත්මක වෙමින් තිබූ ව්‍යාපෘති සියල්ල නතර වුණා. උද්ධමනය 70%කට ආසන්න මට්ටමට පත් වුණා. ඩොලරය පිළිබඳ තිබු විශ්වාසය මුළුමනින්ම බිඳ වැටීමට පටන් ගත්තා. බැංකු පොලී අනුපාතය විශාල ලෙස ඉහළ ගියා. කිසි කෙනෙක් නව ව්‍යාපාරයක් ආරම්භ නොකරන තත්ත්වයක් නිර්මාණය වුණා. ඖෂධ, ගෑස්, ඉන්ධන ආනයනය කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වුණා. දිගු කාලයක් තිස්සේ අපේ රට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාකවලට රටක් හා සමාජයක් ලෙස අපි මුහුණ දුන්නා. එම ආර්ථික ප්‍රශ්නයේ වින්දිතයන් බවට වුණේ කිසිසේත්ම එම තීන්දු තීරණවලට හවුල් වූ අය නොවෙයි.

ඉතා හොඳින් දුවමින් තිබු රටක් අපට ලැබුණේ නැහැ. අපට ලැබුණේ නතර වෙමින් තිබු රටක්. ඒ අනුව අපේ ආරම්භක පියවර බවට පත් වූණේ මේ නතර වූ රාජ්‍යයට යළි පණ පොවන්නේ කොහොමද කියන එකයි. අපි ආණ්ඩුව භාර ගන්නා විටත් ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ආරම්භ කර තිබුණා. අපි පසුගිය වසරේ දෙසැම්බර් 21 වනදා ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අවසන් කළා. එය මෙම ආර්ථික පරිවර්තනයේ විශාලතම හැරවුමයි.

අපි 2022 සිට ණය නොගෙවු රටක් බවට පත්ව තිබුණා. හැබැයි අපි 2028 වසරේ සිට ණය ගෙවන බවට, ණය ගෙවීමට තිබෙන රටවල් සමග 2024 දෙසැම්බර් 21 වනදා එකඟතාවකට පැමිණියා. දැන් අපි නිල වශයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වී තිබෙනවා. ඒ අනුව ක්‍රමානුකූලව, නතර වී තිබු ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට එකඟතාව පළ කර තිබෙනවා. විශේෂයෙන් චීනය, ඉන්දියාව සහ ජපානය අපේ රටට ලබා දී තිබූ සංවර්ධන ව්‍යාපෘති සියල්ල බොහෝ දුරට මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරනවා. එය නතර වූ රටක ආරම්භක පියවරක්.

ඒ වගේම අපිට ඩොලර් අවශ්‍යයි. අපි ඉතාමත් සතුටින් කියන්න කැමතියි අපිට ඩොලර් ලැබෙන ප්‍රධාන සාධක තුනක් තිබෙනවා. එහි පළමු කණ්ඩායම වන්නේ විදෙස් ගත ශ්‍රී ලාංකික ඔබයි. අපි කියන්න කැමතියි මේ වසර විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වැඩිම ඩොලර් එවපු වසර බවට පත් වේවි. ඒ වගේම මෙරටට ඩොලර් ලැබෙන දෙවන ප්‍රභවය වන්නේ සංචාරක කර්මාන්තයි. මේ වසර ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් පැමිණි වසර සහ සංචාරක කර්මාන්තයෙන් වැඩිම ඩොලර් ඉපැයූ වසර බවට පත් වෙනවා.

තුන්වන ප්‍රභවය වන්නේ අපනයන ආදායමයි. අපනයන ආදායම ගත් විට මේ 2025 වසර ලංකාවේ වැඩිම අපනයන ආදායම ඉපැයූ වසර බවට පත් වෙනවා. මේ අයුරින් ආර්ථිකයේ ඉතාමත් ශක්තිමත් ස්ථාවරත්වයක් නිර්මාණය වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස දැන් වසරකට ආසන්න කාලයක් ඩොලරයේ අගය රුපියල් 300 සීමාවේ පවත්වාගෙන යාමට අපි සමත් වී තිබෙනවා.

වසර 05ක් අපේ රටේ වාහන ආනයනය නතර වී තිබුණා. අපි වාහන වෙළෙඳපොළ විවෘත කළා. ඊයේ දිනය වන විට අපි වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 1200ක LC විවෘත කර තිබෙනවා. නමුත් ඩොලරය ස්ථාවරව පවත්වාගෙන යනවා. ආර්ථිකයේ ඉතා වැදගත් ලක්ෂණයක් එයින් පිළිබිඹු කෙරෙනවා.

ඒ වගේම විදෙස් සෘජු ආයෝජන ආර්ථිකයේ ඉතා වැදගත් කොටසක්. මේ වසරේ, මේ වන විට ඩොලර් මිලියන 563ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා සෘජු විදෙස් ආයෝජන පැමිණ තිබෙනවා. එය පසුගිය වසර සමඟ සසඳන විට 101%ක වර්ධනයක්. විශේෂයෙන් වරාය නගරයේ අපි අලුත් ව්‍යාපෘති 04කට අවසර ලබා දුන්නා. සෘජු විදේශ ආයෝජන වගේම වරාය නගරයට ලැබෙන ආයෝජනත් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

ඒ වගේම බැංකු පොළී අනුපාතය වැදගත්ම සාධකයක්. බැංකු පොලි අනුපාතය 30%-35% ඉහළ ගියා. එය ඉතා නරක තත්ත්වයක්. කිසිවෙකු එවන් පොලියකට ණය ලබාගෙන ව්‍යාපාරයක් කරන්නේ නැහැ. ඒ නිසා මුදල් ස්ථීර තැන්පතුවලට ගලා ගෙන ගියා. එහෙම නැත්නම් භාණ්ඩාගර බිල්පත්වලට සහ බැදුම්කරවල තැන්පත් කළා. බැංකු ආණ්ඩුවට ණය දෙන්න පටන් ගත්තා.

දීර්ඝ කාලයක් අපේ රටේ ආණ්ඩුවේ ගිණුම තිබුණේ සෘන අගයක. අපි රටේ ඩොලර් සංචිත පමණක් නොවෙයි, මහබැංකුව මේ වන විට රුපියල් ට්‍රිලියනයක සංචිතයක් නඩත්තු කරනවා. බැංකු පොළී අනුපාතය වැඩිම කාලයක් තනි ඉලක්කමෙන් පවත්වාගෙන ඇවිත් තිබෙනවා. එය ආර්ථිකයේ ඉතා වැදගත් සාධකයක්.

විදෙස් සංචිත දැනට ඩොලර් බිලියන 6.3ක් තිබෙනවා, මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන 07 ඉක්මවන විදෙස් සංචිත ප්‍රමාණයක් එක්රුස් කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. අපි 2028 වන විට ණය ගෙවිය යුතුයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන තුළ ආරම්භක වසරේ විශාල බරක් වැටෙන්නේ නැහැ. අපිට යම් ප්‍රමාණයක් වැඩි වන්නේ 2032 වසරේදීයි. ඒ නිසා අපිට ඉතා හොඳින් සූදානම් වීමට වසර 06ක කාලයක් තිබෙනවා .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අප අතර තිබෙන බැඳීම අනුව අපිට 2028දී වාණිජ්‍ය ණය ලබා ගත හැකියි. නමුත් වාණිජ්‍ය ණය ගන්නේ නැතිව, ඩොලර් සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා අපි උපරිම උත්සාහ කරනවා. ඇයි අපිව මෙම අර්බුදයට පත් කළේ වාණිජ්‍ය ණයයි. අපි ලංකාවේ පළමු වතාවට වෙළඳපොළට ගොස් වාණිජ්‍ය ණය ලබාගත්තේ 2007 වසරේදීයි. 2007 – 2015 දක්වා පැවති පාලනය ඩොලර් බිලියන 3.5 ක වණිජ්‍ය ණය ලබාගත්තා. වැඩි පොලී අනුපාතයට ලබා ගත් මෙම ණය නිසා අපි ණය උගුලක සිර වුණා. 2015 – 2019 ආර්ථික විශේෂඥයන් පාලනය කළ සමයේ ඩොලර් බිලියන 12.5ක් අපි වාණිජ්‍ය ණය ලබාගෙන තිබෙනවා. මෙම කෙටිකාලීන වැඩි පොලී අනුපාතය යටතේ ලබා ගත් ණය අපිට ගෙවා ගත නොහැකි වුණා.

2027 වසරේ අපිට ණය ලබා ගැනීමට හැකියාව නිර්මාණය වුවත්, අපේ උපරිම උත්සාහය වන්නේ කිසිසේත්ම වාණිජ්‍ය ණය ලබාගන්නේ නැතිව ණය ගෙවීමේ ශක්‍යතාව අත්පත් කර ගැනීමයි. ඒ නිසා ණය ගෙවාගත නොහැකි අර්බුදයක් එනවා, රට 2028 වැටෙනවා වැනි දේවල් කිව්වට ඒ කිසිවක් සිදු වන්නේ නැහැ.

ලංකාවේ සාමාන්‍යයෙන් අයවැය ලේඛනයකදී ආණ්ඩුවේ ආදායම් කියලා ඇස්තමේන්තුවක් දානවා. පසුගිය වසර හැරුණු කොට ඊට පෙර සෑම වසරකම අපේක්ෂිත ආදායම ලැබුණේ නැහැ. නමුත් මේ වසරේ ලංකාවේ පළමු වතාවට ඇස්තමේන්තු ආදායමට වඩා වැඩි ආදායමක් ආණ්ඩුව උපයනවා. මේ අයුරින් අපි ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා.

නමුත් ආර්ථිකයේ ඉහළ තලයේ අත්පත් කරගෙන තිබෙන මෙම ජයග්‍රහණ පහළ ජනතාවට ලබා දෙන්නේ කොහොමද කියන අභියෝගය අපි හමුවේ තිබෙනවා. අපි දත්ත ඇතුළේ ආර්ථික වර්ධනයක් පෙන්නුවට වැඩක් නැහැ ජනතාවගේ ජන ජීවිතය උසස් වෙන්නේ නැත්නම්. හැබැයි ඉහළ ආර්ථික දත්තවල ස්ථාවරත්වයක් නිර්මාණය කරන්නේ නැතිව පහළ ජන ජිවිතය නඟා සිටුවීම ගැන සිතා බලන්නවත් බැහැ. ඒ නිසා අපි පළමු පියවර ලෙස රටේ ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. අද රටට ආයෝජකයන් පැමිණෙනවා. ඒ ආයෝජකයන්ට අවශ්‍ය පසුබිම අපි රට තුළ නිර්මාණය කරමින් තිබෙනවා. දැන් අපිට අවශ්‍ය මෙහි ප්‍රතිලාභ රටේ ජනතාව වෙත ගලා යාමට සැලැස්වීමයි. ඊළග අයවැය ලේඛනයේදී අපි ඒ ගැන අවධානය යොමු කරනවා.

රට තුළ හොඳ රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතුයි. අපේ මුළු රාජ්‍ය යාන්ත්‍රණයම නටඹුන් වෙලා තිබුණේ. වාහන, උපකරණ පරණ වෙලා, ගොඩනැගිලි දිරාපත් වෙලා. මේ නටඹුන් අතරින් අපේ රට ඉදිරියට ගෙන යාමට නම් වර්තමානයට ගැළපෙන ලෙස නවීකරණය කෙරුණු ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ නිසා ඉදිරි අයවැයේදී ආණ්ඩුව නවීකරණය කිරීම වෙනුවෙන් අපි වැඩි බරක් තබනවා.

අපි ඩිජිටල්කරණය ඉතාමත් සාර්ථකව අවසන් කරනවා. ඩිජිටල් හැදුනුම්පත අපේ රටේ ඩිජිටල්කරණයේ ඉතා වැදගත් පියවරක් බව කිවයුතුයි. ඒ වගේම ඩිජිටල්කරණය සමග ආණ්ඩුකරණය ඉතා වැදගත් තැනකට ඔසවා තැබෙනවා. රට නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් මෙම ඩිජිටල් පරිවර්තනය අපි මේ වසර 04 ඇතුළත සිදු කරනවා.

ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමේ ඉතා වැදගත් ක්ෂේත්‍රය අධ්‍යාපනයයි. ඒනිසා පාසල් පද්ධතියේ විශාල නවීකරණයක් අපි බලාපොරොත්තු වෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය වැරදියි. අපේ අධ්‍යාපනය තිබෙන්නේ එක් රේඛීය පාරක. අධ්‍යාපනය පුළුල් පරාසයක විවෘත විය යුතුයි. පාසලට ඇතුළත් වන සෑම දරුවෙක්ම වෘත්තීමය හැකියාවකින් හෝ අධ්‍යාපනික හැකියාවකින් තොරව පාසලෙන් එළියට වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ජන සමාජයේ වෙනසක් වෙනුවෙන් අපි අධ්‍යාපනයේ විශාල හැරවුමක් ගන්නවා.

ඒ වගේම ග්‍රාමීය ජන ජීවිතය නංවාලීමට නම් එම ජනතාව නිරතවන ආර්ථක ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුතුයි. එහිදී කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය ලාභදායී ව්‍යාපාර බවට පත්විය යුතුයි. කෘෂිකර්මාන්තයේ පැරණි යුගය අවසන්. අද සැපයුම් ජාලය තිබෙන්නේ යලට, මහට නොවෙයි, අඛණ්ඩ සැපයුම් ජාලයක් තිබෙනවා. ඒ අනුව නව වගා සැලසුම්වලට යා යුතුයි. ඒ සඳහා අපි සැලසුම් සකස් කර තිබෙනවා. රටෙන් එළියට අපේ නිෂ්පාදන යා යුතුයි.

ඒ වගේම අපි අලුත් ආර්ථික අවස්ථා නිර්මාණය කළයුතුයි. රජයෙන් ලබා දිය යුතු පහසුකම් වේගයෙන් ලබාදිය යුතුයි. විශේෂයෙන් ශක්තිමත් පොදු ප්‍රවාහන සේවාවක් අපිට අවශ්‍යයි. අපේ රටේ පුරවැසියා තමන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා දරන පිරිවැය ඉතා ඉහළයි. ඒ නිසා අපි පොදු ප්‍රවාහනය දියුණු කිරීම වෙනුවෙන් සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ වගේම බලශක්ති ක්ෂේත්‍රය වැදගත් ක්ෂේත්‍රයක්. කාලයක් තිස්සේ නැප්තාවලින් සහ කලුතෙල් වලින් තමයි කැළණිතිස්ස, කෙරවලපිටිය බලාගාර පද්ධතිය දුවන්නේ. අපි ඉතා ඉක්මණින් එය LNG වලට, පරිවර්තනය කරනවා. ඒ අනුව බලශක්ති වියදම අඩු කරගන්න අපට හැකියාව ලැබෙනවා.

ඒ වගේම අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් සමහර ස්ථානවල බෙහෙත් හිඟයක් තිබෙන බව ඇත්ත. නමුත් ඒ මුදල් ප්‍රශ්නයක් නෙවෙයි. අපේ මිලදී ගැනීමේ පරිපාටියේ අර්බුදයක් තිබෙනවා. මෑතකදී මම සැපයුම් අංශයේ සියලු දෙනාම කැඳෙව්වා. සාමාන්‍යයෙන් අපට ටෙන්ඩර 6000ක් පමණ තිබෙනවා. ප්‍රශ්නය සරල නැහැ. ඒ නිසා අපි ඉතා ඉක්මනින්ම ප්‍රසම්පාදන කොමිසම සමඟ සාකච්ඡා කර ඖෂධ මිලදී ගැනීමේ නව ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යාමට කටයුතු කරනවා. මේ අයවැයෙන් ඖෂධ සහ උපකරණ සඳහා අපි ප්‍රමාණවත් මුදල් වෙන් කර තිබෙනවා. කෙසේ නමුත් ලබන වසරට අදාළ ටෙන්ඩර විශාල ප්‍රමාණයක් මේ වන විටත් කැඳවා අවසන් කර තිබෙනවා.

ඒ වගේම ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 200 ක් මේ වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. සෑම පවුලකටම වෛද්‍යවරයෙක් සිටින ලෙස සෑම ග්‍රාම සේවා වසමකටම ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා. රෝහල්වල බාහිර රෝගී අංශයෙන් වසරකට මිලියන 60ක් ප්‍රතිකාර ලබා තිබෙනවා. ජනගහනය මිලියන 20යි. ඒ කියන්නේ එක්කෙනා තුන් හතර වතාවක් ඇවිත් තිබෙනවා. අපට ශක්තිමත් ප්‍රජා සෞඛ්‍ය සේවාවක් අවශ්‍යයයි.

සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය දියුණු කිරීම අපේ ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්ය ලෙස අප සලකනවා. රටේ ජන ජීවිතය උසස් කළ හැකි වන්නේ එවිටයි. මේවායේ වැය බර ආණ්ඩුව විසින් පවරා ගනු ලැබුවහොත් පුරවැසියන්ට තව ආදායමක් ඉතිරි වෙනවා. ජන ජීවිතය උසස් කළ යුත්තේ ඒ අයුරින්. ඉතාමත් හොඳ සැලසුමක් සහිතව මේ ආණ්ඩුව කටයුතු කරන නිසා අපේ රට මේ තිබෙන තැනින් ඉතා උසස් ස්ථානයකට ඔසවා තැබිය හැකි බව අපි විශ්වාස කරනවා.

ඒ ගමනේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල කාර්යයක් ඉටු කරනවා. බලය ලබා ගන්නත්, බලය ආරක්ෂා කර ගන්නත් ඔබ විසින් කරන ලද කාර්යයට අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔබ මුහුණ දෙන ප්‍රශ්න ගැනත් අපට අවබෝධයක් තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන් මාලදිවයිනේදී කිසිවෙකු හදිසියේ මියගියහොත් එම සිරුර ගෙන යාමේදී පවතින අපහසුතාව ගැන අපි අවධානය යොමු කරනවා. ලෝකයේ කොතැනක ජීවත් වුවත් ශ්‍රී ලාංකීක සෑම පුරවැසියකුම බලා ගැනීම අපේ ආණ්ඩුවේ වගකීමයි. ඒ නිසා ඔබ මුහුණ දෙන ගැටලු පිළිබඳව අප අවධානය යොමු කරනවා. දින 90කට වීසා ලබා දීමට මාලදිවයින් ජනාධිපතිවරයා අප වෙත එකඟතාව පළ කර තිබෙනවා.

අප උපදින විට තිබූ රටට වඩා යහපත් රටක් , අප විඳි දුක් අපේ දරුවන් නොවිඳින රටක්, අපට වඩා බලාපොරොත්තු සහ අපේක්ෂාවන් සහිත අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් අපි එක්ව වැඩ කරමු. ඒ සඳහා මේක තමයි ආණ්ඩුව. අපි දන්නැති දේ අහගන්නවා. අපි ස්වභාවික මිනිස්සු මිස මොළ හතක් තිබෙන විකෘති මිනිස්සු නෙවෙයි. අපේ තිබෙන විශේෂත්වය තමයි හැකියාවන් උරා ගන්නවා. දන්න අයට අවස්ථාව දෙනවා. අපට තරගයක් නැහැ. අද අපේ ආණ්ඩුවේ විවිධ ක්ෂේත්‍රවල පිරිස් ස්වේඡාවෙන් වැඩ කරන්නේ ඒ නිසයි. ඔවුන්ට අවශ්‍ය නිදහස අප ලබා දී තිබෙනවා. මේ රට ගොඩනැඟීම ඒ හැකියාවන් ඇති සියලු දෙනාගේම කාර්යභාරයක්. අප මේ ගමන යන්නේ මේ සියලුදෙනාම එකාබද්ධ කර ගෙනයි. ඒ සඳහා ඔබ ලබා දෙන දායකත්වයට නැවත වතාවක් ස්තූතිවන්ත වෙනවා.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.