Published on: මැයි 29, 2025

චීන වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ ශ්‍රී ලංකාවේ ආයෝජනයට චීන ආයෝජකයන්ගේ අවධානය

මෙරට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වං වෙන්ටාඕ (Wang Wentao) මහතා අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන සහ අර්ථික ස්ථාවරත්වය සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා ආයෝජකයන් 100කට වැඩි පිරිසක් සමඟ සිදු කෙරෙන මෙම සංචාරය තුළින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු වන බවද පැවසීය.

අභියෝගාත්මක සමයක දෙරටටම වාසි සහගත අයුරින් වෙළෙඳ සහ ආර්ථික අරමුණු ජය ගැනීමට එක්ව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කැප වී කටයුතු කරන බවද චීන වාණිජ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය චීන සංචාරයේදී ඇති කරගත් එකඟතා ක්‍රියාවට නැංවීම චීන වාණිජ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණක් වන අතර චීන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු කඩිනමින් අවසන් කිරීම සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් (Qi Zhenhong), ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වන්ග් ලිපිං ( Wang Liping), විදෙස් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂූ ජුවේටින් ( Shu Jueting) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස චීන දූත කණ්ඩායම වෙනුවෙන්ද,ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.