Published on: ජනවාරි 15, 2025

චීන ජනපති ෂී ජින් පිං මහතාගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම්
– චීන ජනපති

දෙරට අතර ආර්ථික, සාමාජයීය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබේ

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි.

චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි.

අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සුහද කථා බහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එසේම සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව ද සිහිපත් කළ ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියටද ශ්‍රී ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව පැවසීය.

රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් පසු දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද සිදු කෙරිණි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.