Published on: අගෝස්තු 21, 2025

ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි වංචා, දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මහජනපැමිණිලි, අදහස් සහ යෝජනා කැඳවයි

ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා පිහිටුවන ලද ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 ජූනි 30 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව 2025 ජූලි 01 දිනැතිව ගනු ලැබු අංක 25/1145/801/018 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව පිහිටුවන ලදී.

ඒ අනුව ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි සේව්‍ය, සේවකයින්, මහජනතාව ඇතුළු පාර්ශ්වයන්ගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට කමිටුව අපේක්ෂා කරන අතර මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්, ආයතන
2025 සැප්තැම්බර් 05 දිනට පෙර psicairport@gmail.com ඊමේල් (Email) ලිපිනයට හෝ 070-3307700 Whatsapp අංකයට තමන්ගේ ඉල්ලීම යොමු කර දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්නා ලෙස ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව දන්වා සිටී.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.