Published on: අගෝස්තු 19, 2025

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා
ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා, එක් එක් කණ්ඩායම් වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන නිසි ලෙස භාවිත කරමින් ඔවුන් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනීමේ වැඩපිළිවෙළ ඵලදායීව ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එමගින් ගමට මුදල් ගලා යාම සමඟ ග්‍රාමීය ආර්ථිකය වේගයෙන් වර්ධනය කළ හැකි බවද පෙන්වා දුන්නේය.

අදාළ ව්‍යාපෘති සහ වැඩසටහන් විධිමත්ව සහ සැලසුම්සහගතව ක්‍රියාවට නංවමින් ජනතාවට මෙම ප්‍රතිලාභ අත්කර දීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සමාජයේ සිටින ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ඔවුන් සමාජයේ අවවරප්‍රසාදිත පුද්ගලයින් ලෙස සැලකීම වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගැනීමටත් මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් වෙනුවෙන් මෙවර අයවැය යෝජනා ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දුන්නේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපෝන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.