Published on: පෙබරවාරි 22, 2023

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ජනපතිට, අගමැතිට උපහාර අධිෂ්ඨානශීලි බව සහ අභියෝග භාර ගැනීමේ ශක්තිය රාජකීය ආදි සිසුවෙකු ලෙස මා ලැබූ පන්නරයයි – ජනපති

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.

සිය දේශපාලන කටයුතු නවත්වා තමා සමඟ එක්වන ලෙස කිසිවෙකුට නොකියන නමුත් වැටී ඇති රට ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එදිරිවාදිකම් අමතක කර සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ අද (22) පෙරවරුවේ පැවති උත්සවයට එක් වෙමිනි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත උපහාර පිළිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්.ඒ. රත්නායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සහ අග්‍රාමාත්‍යවරයා වෙත උපහාර තිළිණ පිළිගැන්වීය.

අධිෂ්ඨානශීලි බව සහ අභියෝග භාර ගැනීමේ ශක්තිය තමා රාජකීය සිසුවෙකු ලෙස ලැබූ පන්නරය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ රටේ ආර්ථිකය යළි ගොඩනඟනවා සේම ශ්‍රී ලංකාව ලෝකයේ පිළිගත් රටක් ලෙස ඉදිරියට ගෙන යාමේ දැඩි අධිෂ්ඨානය ඇතිව බව ද කියා සිටියේය.

කුමන බාධක හමුවේ වුවද එම වැඩපිළිවෙළ නවතා නොදමන අතර රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රටේ ආර්ථික ප්‍රකෘතිමත්භාවය ඇති කිරීම මෙන්ම ජාතික සංහිඳියාව ගොඩනැංවීමේ වගකීම ද සියලුදෙනා එක්ව ඉටු කළ යුතුව ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් විසින් සිදු කළ ආරාධනාව අනුව අද මම මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙම විදුහලේ අධ්‍යාපනය ලැබූ මාව සහ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව අද මෙම තත්ත්වයට හැඩ ගැස්වීම පිළිබඳව මෙම පාසලේ හිටපු විදුහල්පතිවරුන්ට සහ ආචාර්ය මණ්ඩලයට මම ස්තූතිවන්ත විය යුතුයි. දිසා බණ්ඩාරනායක, එච්.ඩී. සුගතපාල, රාජකීය ප්‍රාථමික අංශයේ ප්‍රධානීන් වූ ඩඩ්ලි සිල්වා සහ බෝගොඩ ප්‍රේමනාත් යන ගුරුවරුන් අපි අදත් සිහිපත් කරන්නේ මහත් ගෞරවයෙන් යුතුවයි.

ඒ වගේම රාජකීය විද්‍යාලයේ නාමය සුරැකීම වෙනුවෙන් මා සමඟ එක්ව සටන් කළ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වන ඩයන් පීරිස් මහතාට සහ අපට සහාය දුන් අනෙකුත් සියලුම සාමාජිකයින්ට මම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වෙනවා.

එසේ නොවුනා නම් අද රාජකීය විද්‍යාලයට වෙනත් නමක් ලැබීමට තිබුණා.

ඒ වගේම මම සහ අග්‍රාමාත්‍යතුමා අද මෙම ස්ථානයට සහභාගි වීම තවත් සුවිශේෂි සිදුවීමක් වනුයේ එතුමත්, මමත් රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ අධ්‍යාපනය ලැබීම නිසයි.

දේශපාලන කරළියේ රාජකීය විද්‍යාලයේ ඉතිහාසය ඉතා ඈතට දිව යනවා. කොළඹ ඇකඩමිය ආරම්භ වී වසර කිහිපයකට පසු එහි කැපී පෙනෙන සිසුන් කිහිප දෙනෙකු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් බවට පත් වුණා. සී. ඒ. ලෝරන්ස් සහ ජේම්ස් ද අල්විස් යන දෙදනාම කවුන්සිලයේ වැඩි බලයක් ලැබූ අයයි. නයිට් පදවිය දැරු ප්‍රථම ආසියාතිකයා වූ ශ්‍රීමත් රිචඩ් මෝගන් මහතා විධායක කමිටු සාමාජික, වැඩබලන නීතිපති මෙන්ම වැඩබලන අගවිනිසුරු සහ ශ්‍රීමත් මුතුකුමාරසාමි යන හතර දෙනාම එවකට මෙරට දේශපාලන භූමිකාවේ ආධිපත්‍ය දැරු අයයි.

ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විසින් තෝරා පත් කර ගනු ලැබූ පළමු මන්ත්‍රිවරයා වූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා මෙන්ම ඔහුට පරාජය වු ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු ද රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වුණා.

ශ්‍රී ලංකාව ස්වාධීන ජාතියක් වන බවට තීරණය කරනු ලැබුවේ 1915 කැරැල්ලෙන් පසුවයි. මේ පාසලේ ආදි ශිෂ්‍යයෙකු වූ හෙන්රි පේද්‍රිස් මහතා බ්‍රිතාන්‍යයන් විසින් මරණ දණ්ඩනයට ලක් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ස්වාධීන ජාතියක් බවට පත් කිරීමේ සටන ආරම්භ වුණා. එවකට ශ්‍රීමත් පොන්නම්බලම් රමනාදන් මහතා ව්‍යවස්ථාදායක සභාවේදී හෙන්රි පේද්‍රිස් මහතා වෙනුවෙන් කන්නලව් කළේ ඔහු ද රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ නිසයි.

ඒ වගේම ඊ.ඩබ්ලිව්.පෙරේරා සහ ශ්‍රීමත් ජේම්ස් පීරිස් එංගලන්තයට ගියේ සිංහල බෞද්ධ නායකයන් වෙනුවෙන් පෙනී සිටීමටයි. ඔවුන් ද රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වූ අතර එවිට 1915 කැරැල්ලේ ශ්‍රී ලංකා පාර්ශ්වයේ ප්‍රධාන චරිත සියල්ල රාජකීයන් වුණා. අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ද මෙම රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක් බව සිහිපත් කළයුතුයි.

අද වන විට මෙම රාජකීය විද්‍යාලය ජනාධිපතිවරු දෙදෙනෙක් සහ අග්‍රාමාත්‍යවරු සිව් දෙනෙක් රටට දායාද කර තිබෙනවා. මෙය පාසලේ කැපී පෙනෙන වාර්තාවක්.

ඊට අමතරව මාලදිවයිනේ සුල්තාන්වරයෙකු වූ මාලදිවයින නවීකරණය කළ මුහම්මද් ෆරීඩ් ඩිඩි මෙම රාජකීය විද්‍යාලයේ වසරක් පමණ අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු වූ මවුමුන් අබ්දුල් ගයුම් වසරක් හෝ ඊට වැඩි කාලයක් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබෙනවා. මේ සියලුදෙනාටම තම රට නවීකරණය කිරීමේ පුරුද්ද ඇති වී තිබෙන්නේ මෙම රාජකීය විද්‍යාලයෙන් බව මම විශ්වාස කරනවා.

ඒවගේම මෙම විද්‍යාලය තවත් වාර්තාවක් තබා තිබෙනවා. ඒ පළමු ජනරජ ව්‍යවස්ථා සම්පාදනය කළේද පැරණි රාජකීයයෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වූ නිසයි. ඒ වගේම දෙවන ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළේ ඔහුගේ පන්තියේ මිතුරෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතායි.

රාජකීය විද්‍යාලය කෙතරම් හොඳට එම රාජකාරිය ඉටුකර තිබෙනවාද කිවහොත් එය වෙනස් කිරීමට කිසිවෙකුට හැකි වී නැහැ.
ඒ වගේම අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඒ වගේම දිවංගත අනුර බණ්ඩාරනායක, මලික් සමරවික්‍රම සහ මම මෙම පාසලට තවත් වාර්තා එක් කර තිබෙනවා. එනම් අප අතරින් දෙදෙනෙකු ජනාධිපති ධූරය හොඹවා ඇති අතර ඇතැමුන් අග්‍රාමාත්‍ය ධූරය හොඹවා තිබෙනවා. එක් අයෙකු කථානායක ධූරය හෙඹ වු අතර තවත් දෙදෙනෙක් සභානායක ලෙස සිට තිබෙනවා. ඒ වගේම තවත් දෙදෙනෙක් විපක්ෂනායක තනතුර හොඹවා තිබෙනවා.

රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් ලෙස අප මෙම ජයග්‍රහණ ලබාගත් බව කිව යුතුයි. අද වත්මන් සිසුන් ලෙස ඔබ මීට වඩා ජයග්‍රහණය ලබාගනු ඇතැයි මම විශ්වාස කරනවා. වාර්තා තිබෙන්නේ ඉදිරියට ගෙන යාම සඳහා නොවෙයි. ඒවා බිඳ දමමින් නව වාර්තා බිහි කළ යුතුයි.

අද මම ඔබ අමතන්නේ අපි රටක් ලෙස ඉතා අසීරුතාවකට පත්ව ඇති මොහොතකයි. පසුගිය වසර 400ටම මෙවන් තත්ත්වයක් රට තුළ උදා වී නැහැ. අද අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා. මම පොදු ආර්ථික කරුණු ගැන මෙතන කථා කරන්නේ නැහැ. නමුත් මෙම තත්ත්වය ඔබ සියලුදෙනාටම බලපානවා. මේ රටේ සෑම නිවසකටම ඉන්ධන හිඟය, විදුලි බලය නැතිවීම සහ ගොවිතැනට අවශ්‍ය පොහොර නොලැබීම බදු වැඩිවීම වගේම උද්ධමනය ඉහළයාම නිසා ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙනවා.

මම රට භාරගන්නා අවස්ථාවේ රටේ සමස්ථ ආර්ථිකයම කඩා වැටිලයි තිබුණේ. මම ජනාධිපති ධූරය භාර ගන්නා විට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය ධූරයේ වගකීම භාරගත්තා. අපේ යුතුකම වුණේ පළමුව රට ගැන සිතීමයි. ඒ අනුව රටේ ආර්ථිකය නැවත ගොඩනැඟීමට වගේම ලෝකයේ පිළිගත් රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ඕනෑම තීරණයක් වසරක් තුළ ගන්නවා කියන අධිෂ්ඨානය මම ඇති කර ගත්තා.

එය අසීරු කාර්යයක්. නමුත් රට බංකොළොත් රටක් ලෙස තවදුරටත් ඉදිරියට ගෙන යාමට මම කැමැති නැහැ. මේ රටේ ජනතාව දුක් විඳිනවා බලා සිටීමට මම කැමති නැහැ. අපි නැවත නැඟි සිටිය යුතුයි, වගේම රටේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කළ යුතුයි. මම මේ සෑම තීරණයක්ම ගනු ලැබුවේ ඒ සඳහායි. අග්‍රමාත්‍යවරයාත් ඒ සඳහා මට සහාය ලබා දුන්නා.

නමුත් මම දැනගෙන සිටියා මට ගැනීමට සිදුවන ඇතැම් තීරණ අසීරු තීරණ වෙයි කියලා. එම තීරණ නිසා මට බැණුම් අහන්න වෙයි කියලා. එහෙත් මෙම තීරණ ගන්නේ නැතිව රට ගොඩනැංවීමට නොහැකියි.

අභියෝග භාර ගැනීම මෙන්ම නිවැරදි දේ සහ රටට හිතකර දේ කිරීමට මම මේ රාජකීය විද්‍යාලයෙන් ඉගෙන ගෙන තිබෙනවා. ඒ වගේම යම් තීරණයක් ගන්න කළින් මම වරක්, දෙවරක් නොව තෙවරක්ම ඒ පිළිබඳ සිතා බලා තිබෙනවා. එයින් ජනතාවට සිදුවන බලපෑම කුමක්ද, ඒ වගේම මම කොපමණ අප්‍රසාදයට ලක් වෙයිද, ඒ නිසා මේ තීරණය ගතයුතුම ද කියා මම සිතනවා. නමුත් රටේ යහපත වෙනුවෙන් සහ රටේ ආර්ථිකය නැවත ගොඩනැඟීම වෙනුවෙන් එම අසීරු තීරණ ගැනීමට මට සිදු වණා.

අපට බංකොළොත් රටක් ලෙස ඉදිරියට යා නොහැකියි වගේම හිඟන රටක් වෙන්න බැහැ. ඒ නිසා අපිට අසීරු තීරණ ගැනීමට සිදුවුණා. නමුත් මෙම වසර ඇතුළත අපි අපේ රටේ ආර්ථික තත්ත්වයේ යම් ප්‍රගතියක් ඇති කරගන්නවා කියා මම ඔබට සහතික වෙනවා.

අපි මේ වන විට රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා අවශ්‍ය අඩිතාලම දමා තිබෙනවා. නමුත් ඒ රට බංකොළොත් කරන පැරණි ක්‍රමවේදයට අනුව නොවෙයි. රට ගොඩනංවන නව ක්‍රමවේදයක් අනුවයි.

නිදහසින් පසු ශ්‍රී ලංකාව දෙවැනි වුණේ ජපානයට පමණයි. ශ්‍රී ලංකාව මිළග සිවිස්ටර්ලන්තය වන බවට අනවැකි පළ වී තිබුණා. නමුත් අවාසනාවකට අද අපිට පහළින් ඉන්නේ ඇෆ්ගනිස්ථානය පමණයි. අපි අපේ රටේ ඉදිරි සැලසුම් සකස් කළ යුත්තේ ඊළග වසර 25ට සරලින අන්දමිනුයි. ඒ වගේම අපි නව ව්‍යවස්ථාවක් සකස් කරන විට එය සකස් කළ යුත්තේ තවත් වසර 100කට ගැළපෙන අයුරින්.

අපි රටේ අනාගතය ගොඩනැඟිය යුත්තේ අපි වෙනුවෙන් නොවෙයි. මෙතන සිටින අපි කිසිවෙක් තව වසර 25ක්වත් ජීවත් වන්නේ නැහැ. මේ අනාගතය ගොඩනඟන්නේ ඔබ වෙනුවෙනුයි. මෙහි ඉදිරිපෙළ සිටින බොහෝ දෙනෙකුට තවත් වසර 25ක් යන විට වසර 45ක් වත් සම්පූර්ණ වන්නේ නැහැ. ඉන් පිටුපස අසුන්වල සිටින ඊට වඩා ජ්‍යෙෂ්ඨ සිසුන්ට තව අවුරුදු 25කින් වසර 40ක් සම්පූර්ණ වෙයි. ඉතින් ඔබ තමයි අනාගතයේ මේ රටේ ජීවත් වන්නේ. ඒ නිසා ඔබ තීරණය කළයුතුයි අපි මොනවගේ රටකද ජීවත් වන්නේ කියා. ඔබ එම අභියෝගය භාර ගෙන රටේ ඉදිරි අනාගතය සැලසුම් කළයුතුයි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා වගේ “ඔබ තීරණය කළයුතුයි මේ රටේ අනාගතය”. නමුත් අද ඔබ අතරින් බොහෝ දෙනෙක් සිටින්නේ පිට රටකට යා යුතුයි කියන අදහස ඇතිවයි. ඔවුන් අනාගතය දකින්නේ රටින් පිටවිය යුතුයි කියන තැන සිට. නමුත් ඔබ රාජකීය සිසුන් බව අමතක නොකළ යුතුයි.

අපි සාර්ථකවත්වය ලබා ගැනීම සඳහා නැවත සටන් කළ යුතුයි. අපේ වටිනාකම් රැක ගැනීමට නම් අපි තනිවමත්, කණ්ඩායමක් ලෙසත් සටන් කළයුතුයි. ඉතින් ඔබෙන් කොටසක් අධ්‍යාපනය සඳහා පිට රට යයි. තවත් පිරිසක් මෙහි රැඳි සිටි. නමුත් ඔබව පිරිපුන් මිනිසුන් බවට පත් කළේ රාජකීය විද්‍යාලය බව ඔබ මතක තබාගත යුතුයි.

මම රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම මට උසස් අධ්‍යාපනය සඳහා පිට රටකට යාමට හැකියාව තිබුණා. මගේ පියාටත් අවශ්‍ය වුණේ එයයි. නමුත් මම මේ රටේම සිටීමට තීරණය කළේ මට මගේ රට වටින නිසයි. ඉතින් මම පාසලෙන් ඉවත් වූවායින් පසු පිට රටකට ගියේ නැහැ. මම මේ රටේම සිටම උසස් අධ්‍යාපනය හැදෑරුවා. මම මගේ රටට ණයගැතියි. මගේ අධ්‍යාපනයට වියදම් කළේ මේ රටයි. ඒ වගේම මම රාජකීය විද්‍යාලයට ආදරෙයි.

ඒ වගේම අග්‍රාමාත්‍යතුමා උසස් අධ්‍යාපනය සඳහා පිට රට ගියත් රට වෙනුවෙන් ඔහුගේ වගකීම සහ යුතුකම අමතක කළේ නැහැ. ඒ නිසා ඔහු උසස් අධ්‍යාපනයෙන් පසු නැවත රටට පැමිණියා. ඔබ සියලුදෙනාත් කළ යුත්තේ එයයි.

ඔබ සියලුදෙනා මෙම පාසලට පැමණීමට වරම් ලැබුවත් එම අවස්ථාව අහිමි වූ සිය ගණනක් සිටිනවා. ඒ සියලුදෙනා අතරින් මේ පාසල ඔබව තෝරා ගත්තා. ඒ නිසා ඔබට වගකීමක් තිබෙනවා මේ රටේ සිට රට ගොඩනැඟීමට දායක වීමට.

රාජකීය සිසුන් ලෙස ඔබ එම අභියෝගය භාර ගැනීමට සූදානම් ද ? ඔබගේ කාර්යභාරය එයයි. ඔබ සියලුදෙනාටම රට වෙනුවෙන් ඉටු කිරීමට කාර්යයන් දෙකක් තිබෙනවා. එකක් තමයි රටේ ආර්ථිකය ගොඩනැගීම. අනෙක තමයි ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම.

අපිට ජාති, ආගම් වශයෙන් බෙදිය නොහැකියි. රාජකීයන් එලෙස බෙදෙන්නේ නැහැ. ඔබ සියලුදෙනා උසස් අධ්‍යාපනය ලබා නැවත මේ රටට පැමිණ ඔබගේ සමාජ වගකීම භාරගෙන රටේ ඉදිරි ගමන වෙනුවෙන් හැකි උපරිමයෙන් දායක විය යුතුයි. ඔබ ඉහළම තනතුරක සිටියත් තමන්ගේ සාමාන්‍ය ව්‍යාපාරයක නිරත වුවත් එය ඔබගේ උපරිම කැපවීමෙන් සිදු කළ යුතුයි.

ඒ වගේම මම සියලු ආදි රාජකීයන්ට ආරාධනා කරනවා සියලු එදිරිවාදිකම් අමතක කර මේ රට ගොඩනැඟීමට එක් වන්න කියා. දේශපාලනයේ නිරත කිසිවෙකුට මම කියන්නේ නැහැ තම දේශපාලන ගමන නතර කර මා සමඟ එක්වන ලෙස. එහෙත් දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් කෘෂිකර්මාන්තයේ යෙදෙන අය, විද්වතුන්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු සියලුදෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ රටේ වැටී ඇති ආර්ථිකය ගොඩඟන තුරු එකට එක්ව කටයුතු කරමු කියලයි.

එමෙන්ම සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන්, පොලිසිය, රාජ්‍ය සේවකයන්, ගුරුවරුන් සියලුදෙනාගෙන් මේ රට ගොඩනැංවීමට එක්වන ලෙස මම ඉල්ලා සිටිනවා. එය තමයි අපි සියලුදෙනා එක්ව ජයගත යුතු අභියෝගය වන්නේ.

මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්.ඒ. රත්නායක මහතා විසින් සිදු කළ අතර ස්තූති කතාව ප්‍රධාන ශිෂ්‍ය නායක කවීෂ රත්නායක විසින් සිදු කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, ගෙවිදු කුමාරතුංග, ප්‍රියංකර ජයරත්න, දුමින්ද දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, ඩිලාන් පෙරේරා, යදාමනි ගුණවර්ධන, කාවින්ද ජයවර්ධන, නිපුන රණවක යන මහත්වරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.