Published on: ජූලි 9, 2025

කළුතර නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

බස්නාහිර සහ දකුණු පළාත අතර ප්‍රධාන නගරය ලෙස කළුතර නගරය සංවර්ධනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට කාර්මික සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඉහළ විභවතාවක් සහිත කළුතර නගරය පුළුල් සංවර්ධනයකට ලක් කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කළුතර නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ අවධානයට ලක් විය.

ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව, ප්‍රධාන නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීම කාර්යක්ෂම කර ගැනීමත්, එයින් වර්තමානයේ කළුතර නගරය ආශ්‍රිතව හඳුනා ගන්නා ගැටලු සඳහා විසඳුම් ලබා දීමත් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර, එහිදී සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු විය.

දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි වඩා ආසන්න ස්ථානයකින් කළුතර නගර පිවිසුමක් ඇති කිරීම සහ කළුතර නගරයට වන පිවිසුම් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, කළුතර නගරය කලාප ලෙස වෙන් කර සංවර්ධනය කිරීම යන කරුණු පිළිබඳ මෙම නගර සංවර්ධන සැලැස්ම යටතේ විශේෂ අවධානයක් යොමු කෙරේ.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පත්මකුමාර, කළුතර මහ නගර සභාවේ නගරාධිපති ධනුජ් සෝමරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කළුතර දිස්ත්‍රික් ලේකම් ජී. එම්. ජනක කේ. ගුණවර්ධන, කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ඒ.පී.පී.චන්ද්‍රසේකර, කළුතර නාගරික කොමසාරිස් පියුමාලි කුලරත්න යන මහත්ම මහත්මීහුද, නාගරික සංවර්ධන අධිකාරියේ සහ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.