Published on: අගෝස්තු 27, 2025

කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදී

කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඊයේ (26) පවත්වන ලදී.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවට සමගාමීව කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ.

මෙහිදී, එම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන් හට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය, පාර්ලිමේන්තුවේ කාර්‍ය සහ කර්තව්‍ය මෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම සහ එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා විය.

එසේම, කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ක්ලීන් ශ්‍රි ලංකා ව්‍යාපෘතිය භාර අමාත්‍යවරයෙකු පත් කිරීම විශේෂත්වයකි. ශිෂ්‍ය පාර්ලිමේන්තු අමාත්‍ය මණ්ඩලය සහ සාමාජිකාවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමද මෙම අවස්ථාවේදී සිදු විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලී වීරසේකර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත්, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා සහ සන්නිවේදන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීහු සහ කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.