Published on: පෙබරවාරි 20, 2023

ඓතිහාසික සෙංකඩගල පුරවරයට විසල් නගර සංවර්ධන ව්‍යාපෘතියක්

ඓතිහාසික මහනුවර නගරය විධිමත් ලෙස පුර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.

කටුගස්තොට දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා ඒ අනුව පියවර ගැනෙනු ඇත.

කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංවර්ධන සැළැස්මක් සකස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද නියමිතය.

මෙම කමිටුව සෑම මාස දෙකකටම වරක් රැස්වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඊයේ (19) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු “ජනරජ පෙරහර” අවසන් වීමෙන් අනතුරුව අද (20) උදෑසන මහනුවර ජනාධිපති මන්දිරයේදී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විණි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.