එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.
‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේ ප්‍රධාන තේමාව විය.
මෙවර විශේෂත්වය වනුයේ රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන‍්නේ වසර 28කට පසුව වීමයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි.
රට ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්වීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලු පක්ෂ නායකයන්ට පක්ෂ සංවත්සරයට සහභාගීවන ලෙස විවෘත ආරාධනයක් කර තිබූ අතර, ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ සෙසු පක්ෂ නායකයෝ රැසක් සංවත්සර උළෙලට සහභාගී වූහ.
ඊ. පී. ඩී. පී. නායක ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මුස්ලිම් කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ජාතික මුස්ලිම් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි, සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්, ජාතික කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු දේශපාලන නායකයෝ පිරිසක් සෙසු පක්ෂ නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.
සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්ව රජයේ අමාත්‍යධූර ලබාගත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුද සංවත්සර උත්සවයට පැමිණ සිටියහ.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණි සියලු ජාතීන්ට අයත් ජනතාවගෙන් ක්‍රීඩාංගණය අතුරු සිදුරු රහිතව පිරී ගොස් තිබිණ.
පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ සංවත්සර උත්සවය අභිමානවත් අයුරින් ආරම්භ කෙරුණු අතර, පක්ෂයේ ආදීකර්තෘ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ සිට ආදී නායකයන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දක්වමින් ගෞරවය පළ කිරීම ද සිදු විය.
එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද, ඩඩ්ලි සේනානායක මහතාගේ පිළිරුවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාද, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ පිළිරුවට පක්ෂ උපනායක නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ද, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පිළිරුවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ද , ආර්. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද, ඩී.බී. විජේතුංග මහතාගේ පිළිරුවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ද පුෂ්පෝපහාර දැක්වූහ.
පක්ෂයේ ආදි නායකයන්ට පුෂ්පෝපහාර දක්වන අවස්ථාවේ දී ජනතාව ද අසුන්වලින් නැගී සිටිමින් සිය ගෞරවාචාර පුදකරන අයුරු දැක ගත හැකි විය.
ජාතික සමගියේ අගය විදහා පෙන්වමින් සිංහල හා දමිළ යන භාෂා ද්විත්වයෙන්ම ජාතික ගීය ගායනා කළ අතර පක්ෂයේ අභිමානය විදහා දැක්වෙන විඩියෝ දර්ශන පෙළක් ද එහිදී ප්‍රදර්ශනය කෙරිණි. දේශීය සංස්කෘතිය ඔප්නැංවෙන වාද්‍ය භාණ්ඩ සංදර්ශනයකින් සහ ගීතමය විශේෂාංගවලින් ද සංවත්සර උළෙල අලංකාරවත් විය.
හිටපු මුදල් අමාත්‍ය රොනි ද මෙල් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සංවත්සරය වෙනුවෙන් සිය සුභාශිංසන එක් කළහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික සංවිධායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, රවී කරුණානායක, නවීන් දිසානායක, දයා ගමගේ, ඩී. එම්. ස්වාමිනාදන් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානානායක යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.