• නිකන් කන්න දෙන්න බැහැ : වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත්ව යන්න. ජනපති අනුරාධපුරයේ දී අවධාරණය කරයි.
පක්ෂ පාට, ජාති ආගම් බේදයකින් තොරව රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශි කර ගැනීමේ අතීත පාඩම කියා දුන්නේ ද එක්සත් ජාතික පක්ෂය බවත්, ඉදිරියට ද රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමාව එක්වන්නැයි සියලුදෙනාට ආරාධනා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (21) අනුරාධපුර ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.
දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබු මෙම හමුවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන පළාත් මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
ජනාධිපති ධූරයට පත්විමෙන් පසුව පළමු වතාවටයි මම අනුරාධපුරයට පැමිණියේ. එය සම්ප්‍රදායක්. අපි මහනුවරට යන්නේ දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න. ඒ වගේම අනුරාධපුරයට ඇවිල්ලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නවා.
රජරට රාජධානියේ අගනුවර වුණේ අනුරාධපුරය. මෙතන තමයි අපේ ආරම්භය. අපි 21 වන ශතවර්ෂයට ඔබින සමාජයක් ඇති කරන්න ඕන. ඒ කටයුතු සමග මෙතනින් ආරම්භ වුණු අපේ ඒ ශිෂ්ඨාචාරය අපට අමතක කරන්න බැහැ. එය මතක තබාගෙන තමයි අපි ඉදිරියට යා යුත්තේ. ඊයේ මම අටමස්ථානය වැඳ පුදා ගත්තා. ඒ හැම තැනකදීම අපේ මහා නායකහිමිවරු මට ආශිර්වාද කළා. මම ඒ පිළිබඳ උන්වහන්සේලාට මගෙ ගෞරවය පුද කරන්න කැමතියි.
අනුරාධපුර දිස්ත්‍රික්කය දෙස බැලූ විට මීට වඩා දෙයක් අපි මේ පළාතට කරන්න ඕන බව මගේ හැගීමයි. අනුරාධපුරය, මහනුවර වගේ මේ රටේ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කරගන්න ඕන. මෙම පළාතට එන සංචාරකයින් තමන්ගේ සංචාරය දවස් භාගයකින් අවසන් කරනවා.
නයිල් නිම්නයේ ඉදලා පැරණී ඊජිප්තු රාජ්‍ය බලන්න ගියොත් සතියක් විතර යනවා. නමුත් අපේ මේ පෞරාණික ස්ථානයට ඇවිල්ලා පැය භාගයක් ගත කරන්නේ නැහැ. අපි මේක වෙනස් කරන්න ඕන. අනුරාධපුරය එක් අතකින් පූජනීය නගරයක්. අනිත් අතින් සංචාරක ආකර්ශනය දිනා ගත් ඓතිහාසික නගරයක් බවට පත් කරන්න ඕන. මේ සදහා මම කමිටුවක් පත්කරනවා හැම අංශයකින්ම. ප්‍රංශයෙන් හරි නැත්නම් වෙනත් රටකින් අපි උපදේශකවරුන් ලබාගෙන මේ අනුරාධපුර නගරය කොහොමද සංස්කෘතික, ඓතිහාසික සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කරන්නේ කියලා අපි කතා කර ගනිමු. එමගින් අනුරාධපුරයට නව ආර්ථිකයක් ලැබෙනවා.
අද රටේ ජනතාව විශාල පීඩනයකට ලක් වෙලා සිටිනවා. එහෙම පීඩනයක් ඉතිහාසයේම තිබුණේ නැහැ. අපි එම තත්ත්වයෙන් ගොඩඑන්න ඕනෑ. අපේ ආර්ථිකය පසුගිය වසරට වඩා 8%කින් අඩුවෙන්න යනවා. එය සීග්‍රයෙන් සිදු වෙමින් පවතිනවා. එහි විපාකය සියලුදෙනාට අත්විඳින්න වෙනවා. මෙහෙම සිදුවන විට අපි බලන්න ඕන මේ තත්ත්වය ආපසු හරවා දියුණු වෙන්න. මේ ආර්ථික සංවර්ධනය කරන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි.
අපි මේ මහකන්නයේ ගොවිතැන් කටයුතු සාර්ථකව කරවනම් පහත වැටුණු ආර්ථිකය නැවත ගොඩනගා ගන්න පුලුවන්. මහ කන්නයට අවශ්‍ය පොහොර ටික ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා දැන් අපිට ආධාර ලැබිලා තිබෙනවා. ඒවගේම පොහොර සහනාධාරය ලබා දෙනවා. අවශ්‍ය බීජ ලබා දෙනවා. කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමේ ඒ වැඩකටයුතු කරගෙන යනවා. අපිට අවශ්‍ය මහ කන්නය ඉතා සාර්ථක කර ගන්න. එතකොට මේ ආර්ථික පීඩනය අඩු කරගත හැකියි.
කෘෂිකර්මාන්තයේ ආරම්භක ස්ථානය විදියට මේ රජරට, අනුරාධපුර කෘෂිකාර්මික කටයුතු සඳහා අපි සම්පූර්ණ සහාය ලබා දෙනවා. අපි මෙතනින් මේ වැඩපිළිවෙළ ආරම්භ කරමු. ඒ වගේම ධීවර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන්න ඕන. අනෙකුත් කෘෂි භෝග වගා සඳහා අවශ්‍ය සහය අපි ලබා දිය යුතුයි. තේ, පොල්, රබර් කර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර ටික දීලා කෘෂිකර්මාන්තයෙන් අපි ඉදිරියට යන්න ඕන.
ලබන වසරේදී මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය තවදුරටත් වැඩිකරගන්න පුලුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපනයන අංශයෙන් දැන් අපට මුදල් එනවා. රුපියලේ ස්ථාවරත්වය ඇතිවුණහම නැවත මැද පෙරදිග මුදල් ඝෘජුව ලංකාවට ලැබෙනවා.
ඉතින් මේ කටයුතුවල අරම්භය මහ කන්නය. එහිදී හොද අස්වැන්නක් ලබාගන්න අපි කැප වෙලා කටයුතු කරමු. අපේ පිහිට දැන් අපිම විතරයි. පිට අයගෙන් තිබෙන පිහිට දැන් අපට ලබා දී අවසන්. ඉන්දියාවෙන් අපට ආධාර දුන්නා, ලෝක බැංකුවෙන් ඒ වගේම අනිත් රටවලින් අපිට ආධාර ලබා දී තිබෙනවා. මේ සහනත් සමග අපේ කෘෂි විප්ලවය වී ගොවිතැනින් ආරම්භ කරමු.
මේ වැඩකටයුතුවලදී විශේෂයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටත් වගකීමක් පැවරී තිබෙනවා. මොනවද අඩු පාඩු, මොනවද වෙන්න ඕන කියලා තමන්ගේ මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන්න. ඒගොල්ලෝ ඒවා පාර්ලිමේන්තුවේ කතා කරනවා. මේ සියල්ල සමග අපිට පුළුවන් එකට එකතු වෙලා මේ වැඩකටයුතු කරන්න.
ඒ වගේම බිම් මට්ටමින් රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ඉන්නවා. මම හිතන්නේ එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට නිලධාරීන් 09 දෙනෙක් විතර ඉන්නවා. අපි ඒ අයට තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාසය බෙදාගෙන හැම එක්කෙනෙකුටම කොටසක් භාරගන්න කියනවා. වැඩ කරනවනම් වැඩ කරන්න, බැරිනම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නැ. එම වගකීම දිසාපතිතුමා භාරගත යුතුයි. මොකද කාටවත් නිකන් කන්න දෙන්න බැ. මොකක් හරි කරන්න ඕන. මටත් නිකන් කන්න බැහැ, මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු.
ඔබතුමන්ලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ලෙස මේ වැඩකටයුතු කරගෙන යන්න. හිටපු මන්ත්‍රීවරුන්ටත් මේවට සම්බන්ධවෙලා හොදින් වැඩකරන්න අවස්ථාව තිබෙනවා. අපි සියලුදෙනා එකතුවෙලා මේ වැඩකටයුතු කරමු. ආණ්ඩුවෙන්ම හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න වුවමනා නැහැ. දැන් ආණ්ඩුවෙන් ජීවත් වුන කාලය ඉවරයි. ජනතාව දේශපාලනඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ආර්ථික ගැටලුවලට විසඳුමක් සොයා දෙන්න කියලා. එය අප කළයුතුයි. ජනතාව අපෙන් ඉල්ලන්නේ එකට එකතුවෙලා මේ පීඩනය නැති කරලා දෙන්න කියලයි. ඒ පණිවිඩය අපි තේරුම් ගන්න ඕන.
පරණ දේශපාලනයේ ඇලී සිටීමෙන් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ පක්ෂ මාරු කළාට රටේ ප්‍රශ්න විසදෙනවා කියලා ජනතාව හිතුවේ නැහැ. ඒකයි මේ තරුණ අය ඇවිල්ලා තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කළේ. ඒකට මම කියන්නේ සාමකාමී අරගලය කියලා. පසුව වෙන අය ඒක ප්‍රචණ්ඩ අරගලයක් බවට පත් කරගත්තා. ඇයි මේ පිරිස මෙතනට ආවේ, මේ ප්‍රශ්නය විසදන්න ඕන, මේක අතහරින්න එපා. ඡන්දයක් තියෙනවා කියලා පැනලා යන්න එපා. ඊට ඉස්සෙල්ලා ඉදිරිපත්වෙලා මේ වැඩකටයුතු කරන්න.
අද මෙතන ඉන්නේ පක්ෂ 03කට සහයෝගය දුන්න අය. එක්සත් ජාතික පක්ෂයටයි, පොහොට්ටුවටයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. ඒත් මම මේක ඔබට පමණක් සීමා කරන්නේ නැහැ. අනිත් පක්ෂවල අයටත් එන්න කියන්න. සජබෙ අයටත් එන්න කියන්න. ජනතා විමුක්ති පෙරමුණටත් එන්න කියන්න. ඒ අය කොටසක් අරගෙන අක්කරයට අපි වගේ දෙගුණයක් අස්වැන්න ගන්නවනම් එහෙනම් කියන්න පුලුවන් ආණ්ඩුව දෙන්න කියලා. ඒත් කරන්න බැරිනම් වැඩක් නෑනේ.
බලය අවශ්‍යනම් පෙන්නන්න තමන්ට වැඩ කරනන් පුලුවන් කියලා. ගම් මට්ටමට ඇවිල්ලා ඒක කරන්න. සියලු පක්ෂ එක්ක කතා කරලා මම කැමති ඒ හැම දෙනාම එකට එකතු කර ගන්න. එය ජයශ්‍රී මහා බෝධීයේ ඉදලා මිහින්තලයට යනකම් අටමස්ථානවල හැම නායක ස්වාමින් වහන්සේ නමක්ම මේ පණිවිඩය තමයි මට කිව්වේ. අපි පරණ ක්‍රමයට ගිහිල්ලා වැඩක් නැහැ. මාධ්‍යයත් ඒක මතක තියා ගන්න ඕන. අපි සියලුදෙනා එකට එකතුවෙලා ඉදිරියට යමු කියලා මම කියන්න කැමැතියි.
බ්‍රිතාන්‍ය යුගයෙන් පස්සේ අනුරාධපුර ශුද්ධ නගරය වෙන් කරලා නව නගරයක් හදන්න තීරණය කළේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටී ඩී.එස් සේනානායක මැතිතුමා. ඒ වැඩකටයුතු භාරදීලා තිබුණේ සොලමන් වෙස්ට් ඩයස් බණ්ඩාරනායක ඇමතිවරයාට. මේ පක්ෂය හදද්දි එහි නායකයා ලෙස ඩී.එස්. සේනානායක මැතිතුමාගේ නම යෝජනා කළේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා. තව මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මේ පක්ෂය හදන්න උදව් කළා. ඒ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා. එක්සත් ජාතික පක්ෂය එහි උල්පතයි. ඒ උල්පතෙන් තමයි මේ සියල්ල ආවේ. මම කියන්නේ නැහැ ඒ උල්පතට ආපසු එන්න කියලා. ඒත් අප සියලුදෙනා එකට එකතු වී රට ගොඩගනිමු.
මේ රටට නිදහස ලබාගන්න සියලුදෙනා එකට එකතු වී වැඩ කළා. නිදහස ලබාගැනීමෙන් පසුව තමයි වෙන් වුණේ. දැන් ඒ වගේම අසීරු කාලයක් අප ඉදිරියේ තිබෙනවා. අපි සියලුදෙනා එක්විය යුතුයි. වමේ නායකයොත් නිදහස ලබා ගන්න එකට එකතු වුණා. පළමු විපක්ෂ නායකයා වුණේ එන්.එම්. පෙරේරා. ද්‍රවිඩ නායකයොත් හිටියා, පොන්නම්බලම් වගේ අය. මේ සියලුදෙනා එකට එකතු වුණා. යළිත් අපි සියලුදෙනා එකතුවෙලා වැඩකළයුතු කාලය දැන් උදා වී තිබෙනවා.
අපි මේ රට ගොඩනගමු. අපි එකට වැඩකරන විට නව දේශපාලන න්‍යායක් ලැබෙයි. පරන ක්‍රමයට යන්න බැහැ. අපි අලුත් ක්‍රමයකට යමු. අපි ශිලාචාර දේශපාලන ගමනක් යන්න ඕන. අද ඡන්දයකට ගිහිල්ලා බලය ගන්න පුලුවන් කියලා කවුරුත් හිතන්න එපා. මෙයයි සත්‍ය. අපි සත්‍ය කතා කරමු. ඒ නිසා අපි සියලුදෙනා මේ වගකීම භාර අරගෙන කටයුතු කරමු.
එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා,
අද මට ඉතාමත් සතුටු දවසක් ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක සාමාජිකයින් අද එකට එකතු වෙලා ඉන්නවා. අපි මේ දවස උදා වෙනකම් බලාගෙන හිටියේ 2015 ඉඳලා. හැබැයි අපිට එදා ඒක හරියට කරගන්න බැරි වුණා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය කියන ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා රට හදමු කියන යෝජනාව ආවත් රටේ අවාසනාවකට ජනතාව ඒක පිළිගන්න සූදානම් වුණේ නැහැ.
හැබැයි දෛවයේ සරදමකට ද කොහෙද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මව් පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ඔබතුමා ජනාධිපතිවරයා වශයෙන් පත් කර ගෙන තියෙනවා. හොඳ දේවල් හොඳම වෙලාවට සිදුනොවුණත් අද අවුරුදු හතකට පස්සේ ප්‍රධාන දේශපාලන ධාරාවන් එකට එකතුවෙලා රට තිබුනට වඩා හොඳ තැනකට ගෙනියන්න අවස්ථාව ලැබිල තියෙනවා.
අපි ඉතිහාසය කතා කර ඉඳලා වැඩක් නැහැ. ඉතිහාසය අමතක කරලා හැමෝම එකතු වෙලා මේ රට හදන්ව වැඩ කරන්න ඕන. මොන බාධාවල් තිබුනත් අපිට පුළුවන් වුණා පාර්ලිමේන්තුව තුළ ඔබතුමාව ජයග්‍රහණය කරවන්න.මේ රට හදන එක දැන් කළේ නැත්නම් අපිට නැවත දවසක් එන්නේ නැහැ .මීට පෙර මේ රට හදන්න තිබුණු අවස්ථා දෙකක් අපි නැති කරගෙන තියෙනවා. ඒ සුනාමි ආපදාව සහ යුධ ජයග්‍රහණය.මේක තමයි අවසාන අවස්ථාව අපගේ ජීවිත කාලය තුල ලැබෙන.
ඔබතුමාට හොඳ අත්දැකීම් තියෙනවා අපි සමච්චල් කරද්දීත් ඔබතුමා විපක්ෂය ට වෙලා homework කලා. ඒ නිසා තමයි ප්‍රශ්නයක් ආවම වෙන නායකයෝ පොත් පෙරලන කොට ඔබතුමාට ඕනම ප්‍රශ්නයකට උත්තරයක් තියෙන්නේ .
අරගලයෙන් රටට වෙනසක් බලාපොරොත්තු වුණු තරුණ පිරිසක් හිටියා. එයාලා බලාපොරොත්තු වුණේ දේශපාලන වෙනසක් විතරක් නෙමෙයි සියලු අංශවල වෙනසක් අපි system change කියන එක අමතක කරන්න නරකයි. රටම මේ වෙනස ඉල්ලුවා අපිට මේක කලින් කරන්න බැරි වුණා දේශපාලනමය වශයෙන් බෙදී ඉන්න නිසා. ජනාධිපතිතුමනි, අද මේ සමාජයම ඉල්ලනවා වෙනසක් පක්ෂ ජාති ආගම් කුල මල භේදයෙන් තොරව.
එනිසා අපි හැමෝම එයට සවන් දෙමු. එය ක්‍රියාත්මක කරන්න ඔබතුමා නායකත්වය ගන්නකොට මෙතන පොදු ජන එක්සත් පෙරමුණ , එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් එකට ඉන්නවා. ඉදිරියේදී සමග ජන බලවේගයත් ඔබතුමා සමග අත්වැල් බැඳ ගනීවි කියලා අපි හිතනවා. අපි එකතු වුණොත් අපිට මේක කරන්න පුළුවන්.
හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා
එදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත්තා වගේ වර්තමානයේ බිහිවුණු ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව කරනවා. එතුමාගේ ගේ ගිනි තැබුවා. මගේ ගේ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ දෙනෙකුගේ ගෙවල් ගිනි තැබුවා. මේක ත්‍රස්තවාදයක් නෙමෙයිද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මහ පාරේ මරා දැම්මා,ඒ ත්‍රස්තවාදය නෙමෙයිද. අහිංසක අරගල කාරයෝ හිටියා ඒ අය අතර ආණ්ඩු පෙරළීමේ විශාල කුමන්ත්‍රයක් තිබුණ අයත් හිටියා. ඒ ක්‍රමය ක්‍රියාත්මක වුනා නම් ප්‍රාදේශීය සභාවක් පළාත් සභාවක් ක්‍රියාත්මක කරගන්න බැරිවෙනවා. පාර්ලිමේන්තුවටත් ගිනි තියන්න ආවා එදා තමයි වැඩ වරද්ද ගත්තේ. ඇතැම් නීතිඥවරු මෙම අය වෙනුවෙන් පෙනී සිටියා. නමුත් පාර්ලිමේන්තුවට ගිනි තැබුවානම් අධිකරණයටත් ගහන්න එනවා. ඒක වෙන්න ගිහිල්ලා අනූ නමයයි දශම නවයෙන් තමයි මෙතුමා රට බේර ගත්තෙ. එ නිසා සදාකාලිකවම අපි එතුමාට ගරු කරනවා
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධනෙ මහතා,
අද රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා . ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ රට භාරගන්න කියලා පක්ෂ කිහිපයකම නායකයින්ගෙන් ඉල්ලීම් කළත් කිසිවෙක් ඊට ඉදිරිපත් වුනේ නැහැ. රට ගැන හිතලා රටේ ආර්ථිකය හදන්න තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට භාර ගත්තේ.එතුමා මුලින්ම කලේ ඉන්දියාව සමඟ සාකච්ඡා කරලා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික ලබාදීම.පසුගිය කාලෙ ගොවි ජනතාව තමයි මුලින්ම පාරට බැස්සේ. තමුන්නාන්සේලා දන්නවා පසුගිය කාලේ ඉන්ධන පෝලිං , ගෑස් පෝලිං තිබුණත් අද ඒවා නැහැ, ජනාධිපතිතුමා ටිකෙන් ටික ප්‍රශ්න වලට විසඳුම් සොයා ගෙන යනවා .
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ,අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන, උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක, අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-21
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.